ඉන්දුනීසියාවෙන් වසර 44000ක් පැරණි 'ලොව පැරණිතම රූපමය කතාව' සොයා ගැනේ

Buffalo

ඡායාරූප මූලාශ්‍රය, Maxime Aubert / PA WIRE

ඉන්දුනීසියාවේ ගල් ගුහා බිත්තියක තිබී සොයා ගැනුණු සිතුවම වසර 44000ක් පැරණි බව සොයාගෙන තිබේ.

එම සිතුවමෙහි දැක්වෙන්නේ, හෙල්ල සහ ලණු ලෙස සැලකිය හැකි යමක් අත දරා සිටින අර්ධ-මිනිස්, අර්ධ-සත්ව ජීවීන් පිරිසක් මී හරකුන් දඩයම් කරන අයුරුය.

ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ, මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කතාන්තරය (oldest-recorded story) විය හැකි බවය.

ඔස්ට්රේලියාවේ ග්රිෆිත් විශ්වවිද්යාලයේ පුරාවිද්යාඥයින් පිරිසක් මෙම නව සොයා ගැනීම් පිළිබඳව Nature සඟරාවේ පළ කර තිබේ.

මීට වසර දෙකකට පෙර මෙම සිතුවම පළමු වරට නෙත ගැටී තිබුණේ, ග්රිෆිත් විශ්වවිද්යාලයේ පුරාවිද්යාඥ ඇඩම් බ්රම් නමැත්තාටය.

ඉන්දුනීසියාවෙන් හමුවූ මෙම සිතුවම ලොව පැරණිතම සිතුවම නොවේ. පසුගිය වසරේදී විද්යාඥයින් පිරිසක් අනාවරණය කළේ, වසර 73000ක් තරම් පැරණි "මානවයින්ගේ පැරණිතම සිතුවම" දකුණු අප්රිකාවේ පාෂාණ කොටසක තිබී සොයා ගැනුණු බවය.

සිතුවමෙන් දැක්වෙන්නේ කුමක් ද?

ඉන්දුනීසියාවේ බෝනියෝහි නැගෙනහිරින් පිහිටි සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ ඇති Leang Bulu'Sipong 4 නමැති ගුහාවක තිබී මෙම සිතුවම් හමු වී තිබිණි.

එම සිතුවම ඇදි පුවරුව මීටර් 5කට ආසන්න පළලකින් යුක්ත වන අතර ඇනෝවා ලෙස හඳුන්වන මී හරක් විශේෂයක් සහ සුලවෙසි දූපතේ වෙසෙන වල් ඌරන් එම සිතුවමෙන් දැක්වේ.

එම සතුන්ට ආසන්නයේ මිනිසුන් මෙන් දිස්වන එහෙත් වලිග සහ දිගු හොස්සක් සහිත කුඩා රූප ද දැකිය හැකිය.

සිතුවමෙහි එක් කොටසක හෙල්ල අතින් ගත් කිහිප දෙනෙකු විසින් වට කරගනු ලැබ සිටින මී හරකෙකු දැක්වේ.

Another part of the scene

ඡායාරූප මූලාශ්‍රය, Maxime Aubert / PA Wire

"මම මීට කලින් මේ වගේ චිත්රයක් දැකල නැහැ, අපි මේ කලාපයේ ගල් මත ඇඳපු චිත්ර සිය ගණනක් දැකල තියෙනවා. ඒත් මේ වගේ දඩයම් කිරීම දැක්වෙන චිත්රයක් අපි දැකල තිබුණේ නැහැ," ඇඩම් බ්රම් පැවසීය.

කෙසේ වෙතත්, පුවරුව මත ඇති මෙම සිතුවම එහි ඇඳි එක ම කතාවක් නිරූපණය කරන්නේ ද යන්න පිළිබඳව

ඇතැම් පර්යේෂකයෝ ප්රශ්න කරති. ඔවුන් පවසන්නේ, එය කාලයක් තිස්සේ අදින ලද සිතුවම් රැසක එකතුවක් විය හැකි බවය.

"ඒක එක දර්ශනයක් ද කියන එක සැකයි," ඩර්හැම් විශ්වවිද්යාලයේ පුරාවිද්යාඥයෙකු මෙන් ම ගල් ගුහා සිතුවම් පිළිබද විශේෂඥයෙකු වන පෝල් පෙටිට් Nature සඟරාවට පවසා තිබේ.

එය වසර 44000ක් පැරණි බව දැනගන්නේ කෙසේ ද?

පර්යේෂණ කණ්ඩායම සිතුවම මත තැන්පත් වී තිබූ කැල්සයිට් කැබලි විශ්ලේෂණය කර බැලීය.

එම ඛණිජමය කැබලි විකිරණශීලී යුරේනියම්, තෝරියම් බවට සෙමෙන් ක්ෂය වූ බැවින් කණ්ඩායම එම මූලද්රව්යවල විවිධ සමස්ථානික මට්ටම් මැන බලා තිබිණි.

ඔවුන්ගේ පර්යේෂණවලින් අනාවරණය වූයේ, වල් ඌරාගේ සිතුවම මත බැඳී තිබුණු කැල්සයිට් කැබලි වසර 43900ක් පැරණි වන අතර, මී හරකා මත රැඳී තිබුණු කැල්සියම් කාබනේට් කැබලි වසර 40900ක් දක්වා අතීතයට දිවෙන බවය.

සුලවෙසි දූපතේ පමණක් ඓතිහාසික ගල් ගුහා හෝ පැරණි රූසටහන් සහිත ආවරණ අවම වශයෙන් 242ක් ඇතැයි පැවසෙන අතර සෑම වසරක ම එවැනි තැන් අලුතින් සොයා ගැනේ.

අනෙක් ප්‍රාග් ඓතිහාසික සිතුවම් සමග මෙය සන්සන්දනය කරන්නේ කෙසේ ද?

A graphic issued by Griffith University, explaining the paintings. "Ther" refers to therianthropes - the animal / human figures

ඡායාරූප මූලාශ්‍රය, A. Brumm/A.A.Okatvaia/R.Sardi/C.C.Lee

මෙය ලොව පැරණිතම සිතුවම නොවිය හැකි නමුත්, පර්යේෂකයින් පවසන්නේ, ලොව මෙතෙක් හමුවූ පැරණිතම රූපමය කතාව මෙය විය හැකි බවය.

"මීට කලින් ලෝකයේ පැරණි ම කතාන්තරමය චිත්ර විදිහට සැලකුවේ යුරෝපයෙන් හමුවූ අවුරුදු 14000 සිට 21000 දක්වා පැරණි වූ පාෂාණ චිත්ර," Nature සඟරාවේ දැක්වේ.

ඊට අමතරව සුලවෙසි ගල් ගුහාවලින් හමුවූ මෙම සිතුවම් ලෝකයේ මෙතෙක් හමුවූ සතුන් නිරූපිත පැරණිතම චිත්ර විය හැකිය.

පසුගිය වසරේදී බෝනියෝ ප්‍රදේශයේ ගල් ගුහාවකින් හමුවූ සිතුවම ලොව සතුන් නිරූපිත පැරණිතම සිතුවම ලෙස මීට පෙර සැලකුණු අතර එය වසර 40000ක් පැරණි බව සොයා ගැනිණි.

තවදුරටත් කියවන්න.