"අපේ නිවහන විනාශයි, මිනිසා සියදිවි හානිකර ගැනීමේ සොබාදහමට එරෙහි යුද්ධය නතර කළ යුතු මොහොතක්" - එජා මහලේකම් ගුටරෙස්

අන්තෝනියෝ ගුටරෙස්

ඡායාරූප මූලාශ්‍රය, UNO

ඡායාරූප ශීර්ෂ වැකිය, "සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකර ගනිමු" - මහලේකම් ගුටරෙස්

"අපේ ග්‍රහලෝකය විනාශයට ගිහින්," එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) අනතුරු ඇඟවීමක් කරයි.

මහලේකම්වරයා ඔහුගේ වචනයෙන් විග්‍රහකරන පරිදි, "මනුෂ්‍යවර්ගයා සොබාදහමට එරෙහිව ඔවුන්ගේම 'සියදිවි හානිකර ගැනීමේ' යුද්ධයක පැටලී ඇත."

"සොබාදහමේ සිරිත වන්නේ පෙරලා පහරදීමයි. සියළු බලශක්තීන් එකතුකර ගනිමින් සොබාදහම තමාට එරෙහිවූවන්ට කෝපාන්විතව පෙරලා පහර දෙනු ඇත," ජගත් සංවිධානයේ ප්‍රධානියා එම අදහස් පළකරන ලද්දේ බීබීසිය විසින් සංවිධානය කරන ලද විශේෂ පරිසර වැඩසටහනකට සහභාගි වෙමිනි.

මහලේකම් ගුටරෙස්ගේ අභිප්‍රාය වන්නේ මිහිතලයේ දේශගුණික විපර්යාසයන් පිළිබඳ අර්බුදය පාලනය කරනු ලැබීම එක්සත් ජාතීන්ගේ ජගත් දූත කාර්යයේ ප්‍රධාන කේන්ද්‍රය බවට පත්කරනු ලැබීමය.

මහලේකම්වරයාගේ අදාළ දේශනය නම්කරනු ලැබ තිබෙන්නේ "අපේ ග්‍රහලෝකයේ තත්වය" යනුවෙනි. මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාරවලින් විමෝචනය කෙරෙන විෂවායු 'බින්දුවේ' අගයට අවමකර ගැනීමේ අවශ්‍යතාව සපුරාගැනීම උදෙසා, ඉදිරි වසර තුළ ජගත් සන්ධානයක් නිර්මාණය කරගැනීම සඳහා පවතින සිය මුඛ්‍ය අරමුණ මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමට නියමිතව ඇත.

UNO

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි ස්වාභාවික ලෝකයට එරෙහිව කරන යුද්ධය අපටම ආපසු පහරදෙන්නේ බිහිසුණු ආකාරයටයි"- මහලේකම් ගුටරෙස්

සෑම රටක්ම, නගරයක්ම, සෑම සමාගමක් සහ සෑම මූල්‍ය ආයතනයක් 2050 වනවිට පරිසරයට මුදාහරින විෂවායු 'බින්දුවේ අගයට' අවම කිරීමේ පරිවර්තනීය සැලැස්මක් සඳහා අනුගත විය යුතුව ඇත යන්න මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ගේ පණිවුඩය වී ඇත.

මහලේකම්වරයාගේ දර්ශනය අනුව, එම ඉලක්කය ජයගැනීම සඳහා සියලු පාර්ශවයන් නිශ්චිත ක්‍රියාමාර්ග ගතයුතුව පවතී.

2010 වසරට සාපේක්ෂව 2030 වනවිට ලෝක මට්ටමින් පරිසරයට මුදාහරිනු ලබන විෂවායු 45%කින් අඩුකිරීමට මහලේකම්වරයා පියවර ගන්නා බව අදාළ බලාපොරොත්තු මගින් කියැවෙයි.

මහලේකම් ගුටරෙස් විසින් ලෝකයේ සියලු ජාතීන්ගෙන් කරනු ලබන ඉල්ලීම් මෙසේ පෙළගැස්විය හැකිය.

*කාබන් සඳහා මිලක් නියම කිරීම

*පොසීල ඉන්ධන දහනය ක්‍රමයෙන් අඩුකිරීම සහ පොසීල ඉන්ධන සහනාධාර නතර කිරීම

*කාබන් බද්ද බදුගෙවන්නන් මත නොව පරිසර දූෂණයට වගකිවයුත්තන් මත පැටවීම

*කාබන් විමෝචනය පාලනය කරගැනීමේ ඉලක්කය සියලු ආර්ථික, මූල්‍ය ප්‍රතිපත්ති සහ තීන්දුගැනීමේ ක්‍රියාවලිය සමඟ එකමුතු කිරීම

*දේශගුණ විපර්යාසයන්හි බලපෑමට දැනටමත් ගොදුරුව සිටින ලොවපුරා සියළු ජාතීන්ට උදව් සැපයීම

වනගිනි සහ ගංවතුර

මහලේකම් ගුටරෙස් තේරුම්ගන්නා පරිදි මෙය අනාගත අපේක්ෂා සහගත වැඩපිළිවෙලක් වන නමුත් ඉහත කී කරුණු සම්බන්ධයෙන් ලෝකය දැන්ම ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතුව ඇත.

"විද්‍යාව ඉතා පැහැදිළියි. අද පටන් 2030 වනවිට ලෝකය පොසීල ඉන්ධන දහනය වසරක් පාසා 06%කින් කප්පාදු නොකළොත් පවතින තත්වය වඩාත් නරක අතට හැරේවි."

CLIMATE
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකය මුහුණ දී සිටින දේශගුණ විපර්යාශ අර්බුදය යළි නිවැරදි කළ හැකිද?

කැපවූ ක්‍රියාමාර්ග නොගත්තොත් මෙම සියවස තුළ මිහිතලයේ උණුසුම තවත් අංශක තුනක පටන් අංශක පහක් පමණ වන තෙක් මට්ටමකින් ඉහළයාමේ අනතුරක් ඇති බවත් මහලේකම්වරයා පෙන්වාදෙයි.

එහි බලපෑම දැනටමත් ලෝකයට දැනෙන්නට පටන්ගෙන ඇත යන්න මහලේකම්වරයාගේ අදහසයි.

"මහා වනගිනි සහ ගංවතුර.කුණාටු සහ සුළිසුළං අද සාමාන්‍ය දේවල් තත්වයට පත්වෙලා."

එවැනි අනතුරු ඇඟවීමක් කරන අන්තෝනියෝ ගුටරෙස් පවතින බිහිසුණු තත්වය තවදුරටත් මෙසේ පැහැදිළි කරයි.

"ජෛව විවිධත්වය බිඳවැටිලා.කාන්තාර ප්‍රදේශ තවත් ව්‍යාප්තවෙමින් පවතිනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් මහසයුර පුරවලා."

නිවැරැදි තීන්දුවක් ගතයුතු මොහොතක්

එක්සත් රාජධානියේ සහ ඉතාලියේ සත්කාරකත්වය යටතේ ලබන අවුරුද්දේ නොවැම්බර් මාසයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර දේශගුණ සමුළුවක් ඇමතීමට නියමිත මහලේකම් ගුටරෙස්, විෂවායු විමෝචනය කප්පාදු කිරීම සඳහා ලොවපුරා ජාතීන් තමන් විසින් ඉටුකරනු ලැබීමට අපේක්ෂාකරන අභිප්‍රායන් ඉදිරිපත් කළ යුතුව ඇතැයි එහිදී පවසනු ඇත.

Our Planet

මුහුණ දී සිටින දේශගුණ අර්බුදය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස බලකරන අතරම මහලේකම්වරයා, ජෛව විවිධත්වය විනාශකිරීමට හේතුවෙන මිහිතලය වැනසීම පාලනය කරගැනීමටත්, පරිසර දූෂණය අවම කර ගැනීමට දරන ප්‍රයත්නය තවත් දැඩි කරන ලෙසත් ඉල්ලා සිටීමට අපේක්ෂා කරයි.

"අපි කඩිනම් නිවැරැදි තීන්දුවක් ගතයුතු මොහොතක් කරා අවතීර්ණව සිටිනවා," මහලේකම්වරයා සඳහන් කරනු ඇත.

එහෙත් ඔහු සිය බලාපොරොත්තුව ඉටුකරගැනීම අතින් එක්තරා දැල්වෙන දීප්තියක් ද දකියි.

මෙම සියවසේ මැදභාගය වනවිට යුරෝපා හවුල, එක්සත් ජනපදය, චීනය, ජපානය, දකුණු කොරියාව සහ 110කට අධික තවත් රටවල් සංඛ්‍යාවක් කාබන් විමෝචනය අවසන්කිරීමට එකඟව සිටින බවත් මහලේකම් ගුටරෙස් පිළිගනු ඇත.

ඔහු පවසනු ඇත්තේ, පවතින ගතිකත්වය ව්‍යාපාරයක් බවට පත්වනු දැකීම තම උවමනාව බවය.

තාක්ෂණය ඉහත කී ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට උදව්වනු ඇත යන්න සිය විශ්වාසය වන බව මහලේකම්වරයා පවසනු ඇත.

CLIMATE

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තාක්ෂණය ඉහත කී ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට උදව්වනු ඇත යන්න සිය විශ්වාසය වන බව මහලේකම්වරයා පවසනු ඇත

"අප වඩාත් සුරක්ෂිත වඩාත් තිරසාර සහ සාධාරණ මාර්ගයක් නිර්මාණය කළයුතුව පවතිනවා."

මෙය අප ජීවත්වෙන ග්‍රහලෝකයට එරෙහි යුද්ධය නතරකරනු ලැබීමට කාලය බව මහලේකම්වරයාගේ අදහසයි.

"අප සොබාදහමට එරෙහි යුද්ධයට නිත්‍ය සටන්විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතුව තියෙනව. සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකරගත යුතුයි."

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, BBC ප්‍රධාන පරිසර වාර්තාකාරු ජස්ටින් රෝලට්

මෙම ලිපිය සම්පාදනය කළ BBC ප්‍රධාන පරිසර වාර්තාකාරු ජස්ටින් රෝලට් (Justin Rowlatt) බීබීසිය වෙනුවෙන් පරිසර තොරතුරු සහ නව අභියෝග ගවේෂණය පිණිස ලෝකය පුරාම මෙන් සංචාරය කර ඇත. පරිසර හානියට අදාළ සාධක සහ සිදුවෙමින් පවතිනා දේශගුණ විපර්යාශයන් ඔහුගේ අත්දැකීමට ලක්වෙයි. මෙය මිනිස්වර්ගයා මුහුණ දී ඇති බරපතලම අභියෝගය බවත් ජස්ටින් පෙන්වා දෙයි.

තවත් පරිසර තොරතුරු: