පැට්‍රිස් ලුමුම්බා: ගලවාගත් දත ඔහුගේ දියණියට භාරදෙන ලෙස බෙල්ජියම් අධිකරණ නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
කොංගෝ නිදහස් ව්‍යාපාරයේ නායක පැට්‍රිස් ලුමුම්බාගේ දතක් ආපසු ඔහුගේ පවුලට භාරදෙන ලෙස බෙල්ජියමේ උසාවියක් විසින් තීන්දුකරනු ලැබ ඇත.
එම අධිකරණ තීන්දුව ගැන ලුමුම්බා පවුලේ වර්තමාන සාමාජිකයෝ බලවත් සතුටට පත්ව සිටිති.
නෑකමින් ඔහුගේ බෑණාකෙනෙකු වන ෂෝන් ෂක් ලුමුම්බා (Jean Jacques Lumumba) බෙල්ජියම් අධිකරණ තීන්දුව විස්තර කරන ලද්දේ "යහපත් පියවරක්" හැටියටය.
"පැට්‍රිස් ලුමුම්බා කියන්නේ අපි කවදාවත් මිහිදන් නොකරපු චරිතයක්. බෙල්ජියමේ උසාවියේ තීන්දුව සත්‍යය දැනගැනීම සඳහා ගත් හොඳ පියවරක්. එය ඉටුකර ගන්න අදියර කීපයක් යන්න වෙනවා," ෂෝන් ෂක් ලුමුම්බා පවසයි.
පැට්‍රිස් ලුමුම්බා සමඟ මරාදමන ලද ජෝසප් ඔකිටෝ (Joseph Okito) සහ මොරිස් එම්පෝලෝ (Maurice Mpolo) යන නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමීන් දෙදෙනාත් "කොංගෝවේ විරුවන්" ලෙස සලකන අතර ඔවුන් ඝාතනය කරනු ලැබීම පිටුපස ඇති කතන්දරයත් හෙළිදරව් කරගත යුතුව ඇති බවත් ෂෝන් ෂක් ලුමුම්බා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AlFREDO ROSTGAARD
බෙල්ජියම් අධිකරණය නියෝගකර තිබෙන්නේ 'ලුමුම්බාගේ මළසිරුරින් ගළවා ගන්නා ලද දත ඔහුගේ දියණිය වන ජුලියානාට භාරදෙන' ලෙසය. තම පියාගේ මලසිරුරින් උගුලාගන්නා ලද එම දත තමාට භාරදෙන ලෙස ඉල්ලා සිටිමින් ජුලියානා ලුමුම්බා(Juliana Lumumba) බෙල්ජියමේ රජතුමා වෙත ලිපියක් යොමුකර තිබුණි.
දත ගලවාගත්තේ බෙල්ජියම් පොලිස් භටයෙක්
පැට්‍රිස් ලුමුම්බා 1960 දී බෙල්ජියමෙන් නිදහස ලද කොංගෝවේ පළමු අගමැතිවරයා විය. බෙදුම්වාදී කැරලිකරුවන් විසින් අල්ලාගන්නා ලද ලුමුම්බා මරාදමන ලද්දේ 1961 වසරේදීය.
බෙල්ජියම් යටත්විජිත පාලනයෙන් සියරට නිදහස්කර ගැනීම සඳහා ලුමුම්බා 1958 දී 'කොංගෝ ජාතික ව්‍යාපාරය' (Congolese National Movement-MNC) පිහිටුවන ලද අතර, ඝාතනය කරදමනු ලබන තෙක්ම ඔහු එම සංවිධානයට නායකත්වය දුන්නේය.
පැට්‍රිස් ලුමුම්බා කොංගෝවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු රාජ්‍ය පාලකයා වූ අතර, නිදහස් සටනේ නිරතවීම මගින් ඔහු සියරට තුළ පමණක් නොව, එවකට ජාතික නිදහස් ව්‍යාපාර පෙරට යමින් තිබුණ මහාද්වීපය පුරා සියලු අප්‍රිකානු යටත්විජිත රටවල බලවත් ආකර්ෂණයක් සහිත නායකයකු බවට පත්ව සිටියේය.
ලුමුම්බා මරාදමන ලැබීම සහ ඔහු මරාදමන ලද ආකාරය මුල්කර ගනිමින් සමස්ත ලෝකය පුරාම මහජන උද්ඝෝෂණ පැතිරගිය අතර එම ඝාතනයට බෙල්ජියම් පාලනයේත් සම්බන්ධයක් විය. එබැවින් බෙල්ජියමට 2002 වසරේ දී ඒ සම්බන්ධයෙන් නිල මට්ටමින් සමාවක් ඉල්ලා සිටීමට පවා සිදුවිය.
බෙල්ජියම පමණක් නොව බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ඔත්තු සංවිධාන පවා ලුමුම්බා ඝාතනය පිටුපස සිටි බවට විශ්වාසයක් පවතී.
ලුමුම්බා ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා බෙල්ජියම කොමිෂන් සභාවක් පත්කළ අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි මගින් කියැවුනේ බෙල්ජියම් නිලධාරීන්ගේ සහ ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) හවුල්වීමෙන් තොරව එම ඝාතනය සිදුකළ නොහැකි බවය.
එවකට (1961) බලයේ සිටි ඇතැම් බෙල්ජියම් ඇමතිවරුන්ට ලුමුම්බා ඝාතනයේ සදාචාරමය වගකීමක් (moral responsibility) පැවරෙන බව එරට පාර්ලිමේන්තු කමිටුවක් පසුව ප්‍රකාශකර තිබුණි.
එහෙත් එම පාර්ලිමේන්තු කමිටුව ලුමුම්බා ඝාතනය සඳහා බෙල්ජියම් ආණ්ඩුව සෘජුව හවුල්වී ඇති බව තහවුරු කිරීමට අසමත් විය.
පැට්‍රිස් ලුමුම්බාගේ මෘතදේහය පිළියෙළ කිරීමට හවුල්වූ බෙල්ජියම් පොලිස් භටයෙකු විසින් ඉහත කී දත ගලවාගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව AFP මාධ්‍ය සේවය වාර්තා කරයි.
පොලිස් භටයා විසින් ගලවාගත් ලුමුම්බාගේ දත බෙල්ජියමේ බලධාරීන් විසින් පසුව පැහැරගනු ලැබ ඇතැයි AFP මාධ්‍ය සේවය වැඩිදුරටත් පවසයි.
ලුමුම්බාගේකොංගෝ නිදහසට වසර හැටයි
බෙල්ජියමේ යටත් විජිතයක්ව පැවති කොංගෝව 1960 ජූනි මස 30 දින නිදහස දිනාගත් අතර එම නව නිදහස් රාජ්‍යයේ පළමු අගමැතිවරයා ලෙස පැට්‍රිස් ලුමුම්බාට කටයුතු කිරීමට සිදුවුනේ මාස කීපයක් පමණි.
ලුමුම්බා ඝාතනයත් සමඟ ඔහු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජාතික වීරයකු බවට පත්වූ අතරම, එම ඝාතනය සමස්ත අප්‍රිකානු ලෝකය එකට බැඳ තබන "පොදු අප්‍රිකානුවාදයක්" (Pan-Africanism) පිළිබඳ සංකල්පය බිහිව එය මහාද්වීපය පුරා පැතිරයාමේ ආරම්භය සලකුණු කළේය.
නිදහස දිනාගැනීමෙන් අනතුරුව සියරට බෙදුම්වාදී අනතුරට මුහුණ දුන් අවස්ථාවේ ලුමුම්බා බටහිර රටවල උදව් ඉල්ලා සිටි අතර, එය අසාර්ථක වූයෙන් සෝවියට් සංගමය දෙසට යොමුවිය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/RUSSIAANCLUBLK
පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව සරසවිය
1961 වසරේ ලුමුම්බා ඝාතනය කරනු ලැබීමෙන් පසු සෝවියට් සංගමය සිය සරසවියක් ඔහුගේ නමින් නම්කරන ලද්දේ ඔහුට උපහාරයක් වශයෙනි.
එය මොස්කව් නගරයේ පිහිටි 'පැට්‍රිස් ලුමුම්බා' මිත්‍රත්ව සරසවියයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පැට්‍රිස් ලුමුම්බා වෙනුවෙන් 'Lumumbaville' නමින් නගරයක් නිර්මාණය කර ඇත.
(BBC අප්‍රිකානු වාර්තාකරු සම්බා කෘෂුෂෝ(Samba Cyuzuzo) සකස් කළ ලිපියක් ඇසුරිනි)
කියවන්න:








