කොංගෝවේ සිරකරුවෝ 900ක් පලායති

කොංගෝ සිතියම

කොංගෝ ජනරජයේ උතුරුකරයේ බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් එහි සිටි සිරකරුවන් 900කට අධික පිරිසක් පලා ගොස් ඇති බවත් එරට බලධාරීහු පවසති.

කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරයට ගොදුරු වී එකොළොස් දෙනෙකු පමණ මරණයට පත් වී තිබේ.

ප්‍රහාරය සිදු වූ 'කිවූ' ප්‍රදේශයේ ආණ්ඩුකාර ජුලියන් පාලුකු කියා සිටියේ 'බෙනි' බන්ධනාගාරයට පහර දීම සඳහා කැරලිකරුවන් බර අවි යොදාගෙන ඇති බවය.

මිය ගිය අයගෙන් අට දෙනෙකුවත් බන්ධනාගාර නියාමකවරුන් බවත් ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති ජෝසෆ් කබිලා සිය ධූර කාලය නිමා කර ඇති නමුත් බලය අතහැරීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව රටේ අර්බුදකාරී තත්වයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ජෝසෆ් කබිලා සිය ධූර කාලය නිමා කර ඇති නමුත් බලය අතහැරීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව රටේ අර්බුදකාරී තත්වයක්

ප්‍රහාරය සිදුකරනු ලැබ ඇති කැරලි කණ්ඩායම පිළිබඳව තොරතුරු කිසිවක් තවම හෙළිවී නොමැත.

කොංගෝ ජනරජයේ ජනාධිපති ජෝසෆ් කබිලා සිය ධූර කාලය නිමා කර ඇති නමුත් බලය අතහැරීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව රටේ අර්බුදකාරී තත්වයක් උදා වී තිබේ.

රටේ විවිධ පෙදෙස් හි ක්‍රියාත්මකවන කැරලි කණ්ඩායම් කිහිපයක් සමඟ කොංගෝ හමුදා භටයෝ සටන් වැදී සිටිති

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රටේ විවිධ පෙදෙස් හි ක්‍රියාත්මකවන කැරලි කණ්ඩායම් කිහිපයක් සමඟ කොංගෝ හමුදා භටයෝ සටන් වැදී සිටිති

මෑතක සිට කොංගෝවේ බන්ධනාගාර කිහිපයකට ම ප්‍රහාර එල්ල විය.

කින්ශාසා අගනුවර අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට පසුගිය මාසයේ දී එල්ල වූ ප්‍රහාරයක දී එහි සිටි සිරකරුවන් 4,000ක් පමණ පලා ගියහ.