එජා ප්‍රහාරයකින් 'කොංගෝ වැසියන්ට අවදානමක්'

කොංගෝවේ එක්සත් ජාතීන්ගේ හමුදා සෙබළුන්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොංගෝවේ එක්සත් ජාතීන්ගේ හමුදා සෙබළුන්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැලසුම් කොට ඇති ලෙසින් හමුදා ප්‍රහාරයක් දියත් කැරුනොත් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පොදු ජනතාවගේ තත්වය තවත් දරුණු අතට පත් විය හැකි බවට සහනාධාර ආයතන බිය පල කරයි.

අනාථයන්ට ආධාර ලබා දීම වෙනුවෙන් බලපෑම් කරන රෙෆියුජීස් ඉන්ටර්නැෂනල් (Refugees International) ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ තුන් දහසක බල ඇණියක මැදිහත් වීමෙන් දියත් කිරීමට නියමිත ප්‍රහාරයක බලපෑමෙන් නිරායුධ වැසියන් මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවයි.

කොංගෝ යුද අනාථයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොංගෝ යුද අනාථයන්

ස්වේච්ඡා වෛද්‍ය සංවිධානයක් වන දේශ සීමා නොමැති වෛද්‍යවරු (Medecins Sans Frontieres) කලින් කියා තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුදමය හා මානුෂික කටයුතු අතර වෙනස අපැහැදිලි වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සන්නද්ධ කණ්ඩායම් වල ඉලක්කයක් වීමේ අවදානමට මුහුණ පා සිටින බවයි.

යුද්ධයෙන් ලක්ෂ විසිපහකට වැඩි ජනකායක් මරා දැමුණු කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තත්වය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි.