කොරෝනා වෛරසයට මුහුණ දෙමින් දකුණු කොරියාවේ මැතිවරණයක්

Election booth with staff in PPE

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් ඡන්ද පොළ පිහිටා තිබුනේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන අසලය

කොරෝනාවෛරස් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාවේ මහ මැතිවරණයක් පැවැත් වේ.

ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණිය යුත්තේ මුඛ ආවරණ පැළඳගෙනය. මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය.

ඡන්දය භාවිතා කිරීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලෙනු ඇත. විෂබීජහරණය කෙරෙන දියරය භාවිතා කොට දෑත් පිරිසිදු කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳිය යුතුය.

ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා අතට පත් වන්නේ ඉන් අනතුරුවය. තම මනාපය පරිදි ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද කුටියට යාමට ඉන් පසුව ඔවුනට අවසර ලැබේ.

ඒ, මහ මැතිවරණයට අදාලව දකුණු කොරියාව ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත්වලින් කිහිපයක් පමණි.

දකුණු කොරියාවේ ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කෙරෙන ආසන 300 ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වේ. ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ ප්‍රමාණය 35 කි.

නමුත් රටේ පාලනය සඳහා තරඟය පවතින්නේ වත්මන් පාලනය ගෙනයන මින්ජෝ (ප්‍රජාතන්ත්‍රවාදී) පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන එක්සත් අනාගත (කොන්සර්වේටිව්) පක්ෂය අතරය.

Voters in South Korea
ඡායාරූප ශීර්ෂ වැකිය, මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය

මෙම මහ මැතිවරණ සමය තුළ අන් සියලු දේ පරයා සාකච්ඡාවට භාජනය වුයේ වත්මන් රජය විසින් කොරෝනාවෛරස වසංගතය පාලනය කරනු ලබමින් සිටින ආකාරය පිළිබඳවය.

රටේ ආර්ථිකය පිළිබඳව තිබූ බිය සහ ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවන්ට එරෙහිව එල්ල වී තිබු දුෂණ චෝදනා එමගින් වැසී ගොස් තිබේ.

Coronavirus Sri Lanka
Coronavirus Sri Lanka

2022 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව සහ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය පිළිබඳව සිදු කෙරෙන යම් තක්සේරුවක් ලෙස මෙම මහ මැතිවරණය සැලකේ.

මෙවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම අවුල් ජාලයක් බවට පත්විය හැකි යැයි ඇතැම් විවේචකයන් බිය පළ කර තිබුණි.

නමුත් ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට ජනතාව තමන්ට සලකුණු කර ඇති ස්ථානවල ඉතා සංසුන්ව ඉවසීමෙන් පෙළ ගැසී සිටිනු දක්නට හැකි විය.

"මම හිතුවේ ඡන්දය කල් දැමිය යුතුව තිබුනා කියල, මිනිස්සු ඡන්දේ දාන්න එන එකක් නැහැ කියල. ඒ වුනාට මමත් ආව. තවත් ගොඩක් දෙනෙක් ඇවිල්ල. ප්‍රශ්නයක් නැහැ." ඡන්දය භාවිතා කිරීමට පැමිණ සිටි තරුණියක් පැවසුවාය.

Voters queuing in South Korea
ඡායාරූප ශීර්ෂ වැකිය, "මේක අපේ ඡන්ද අයිතිය" ඡන්ද පෝලිමේ සිටි අයෙක් පැවසීය

ආසාදනයක් පිළිබඳව පවතින බිය විසින් ජනතාවට බලපෑමක් සිදු කරනු ලැබ නැති බවක් පෙනෙන්නට තිබේ.

මිලියන 11කට අධික පිරිසක් කල් තියා සිය ඡන්දය භාවිතා කර තිබේ. එය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 26%ක ප්‍රතිශතයකි.

ඇතැමුන් තැපැල් මගින් සිය ඡන්දය භාවිතා කර තිබුණි. නමුත් වැඩි පිරිසක් ඒ සඳහා පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා විවෘත කර තිබුණු ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් තිබුණි.

මෙවර කල්තියා භාවිතා කර තිබු ඡන්ද ප්‍රමාණය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකි. එමෙන්ම වයස අවුරුදු 18ක් වූ පිරිසට ඡන්ද බලය ලැබුණු ප්‍රථම අවස්ථාවද මෙයයි.

එම වයසේ පසුවන ඡන්දදායකයන් කිහිප දෙනෙකුම සෝල් නුවර ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට සිටිනු දක්නට ලැබුණි. සිය පළමු ඡන්දය භාවිතා කිරීමට ඔවුහු දැඩි උනන්දුවකින් පසුවුහ. ඒ සඳහා කොරෝනාවෛරස් වසංගතය ඔවුනට බාධාවක් වී නොතිබිණි.

"මේක අපේ ඡන්ද අයිතිය" ඡන්ද පෝලිමේ සිටි අයෙක් පැවසීය.

"ඡන්දය දැමීම අප කළ යුතු ම දෙයක්." සිය පළමු ඡන්දය භාවිතා කිරීම සඳහා පෝලිමේ සිටි යෞවනියක් පැවසුවාය. තමන් පැළඳ සිටින ප්ලාස්ටික් අත්වැස්ම එතරම් සුවපහසු නොවුවත් ඉන් තමන්ට ආරක්‍ෂිත බවක් දැනෙන්නේ යැයි ඇය ප්‍රකාශ කළාය.

Presentational grey line
Presentational grey line

දකුණු කොරියාව ඉතිහාසයේ කවර දා හෝ මැතිවරණයක් කල් දමා නොමැත. 1952 දී කොරියානු යුද්ධය පවතිද්දී පවා ජනාධිපතිවරණය පැවැත්විණි.

බලධාරීන්ට පැවතියේ වෛරස් ආසාදනයක් ඇතිවීමේ අවදානම වලක්වා ගන්නේ කෙසේද යන අභියෝගය පමණි.

ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 කට වඩා ඉහළ අගයක පවතින අයෙකු වීනම් ඔහු අන් අයගෙන් වෙන්කොට විශේෂිත ඡන්ද කුටියකට රැගෙන යාමට බලධාරීහු තීරණය කළහ.

නව කොරෝනාවෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට තම ඡන්දය තැපැල් මගින් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

එමෙන්ම සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ඡන්දදායකයන් සඳහා නිවාස බහුල පෙදෙස්වල විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කර තිබුණි.

මුහුණු ආවරණයක් පැළඳ, රෝහල් වස්ත්‍රයකින් සැරසී සිටි එක්තරා කාන්තාවක් සිය ඡන්ද පත්‍රිකාව නිලධාරීන්ට භාර දී යන ආකාරය දක්නට ලැබුණි. එම නිලධාරීන් සිටියේ සම්පූර්ණයෙන් සිරුර ආවරණය වන සේ ආරක්‍ෂිත ඇඟලුම් ලාගෙනය.

මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ වෛරසය පැතිරයාම වලක්වා ගැනීම සඳහාය.

"මුලින් මම හිතුවේ මෙවර මට ඡන්දේ දාන්න බැරිවෙයි කියල. මටත් ඒ සඳහා අවස්වථාක් තියෙනවා කියල පස්සේ දැන ගත්ත. ඒ අවස්වථාව සලසා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා." ඉහත කී කාන්තාව රොයිටර් පුවත් සේවයට පැවසුවාය.

Election workers with full PPE

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයන්ට ද ඡන්දය භාවිතා කළ හැක

ඡන්ද මධ්‍යස්ථාන තැනීමට සහ මැතිවරණය මනාව පවත්වාගෙන යාම සඳහා එරට හමුදා භටයන් 550,000 ක් යොදාගෙන තිබේ.

හමුදාව යොදවා ඡන්ද මධ්‍යස්ථාන 14,000 ක් විෂබීජහරණයට ලක් කර ඇත.

මෙම කාර්යයන් සපුරා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වුවද, කෙටි කාලයක් පමා කොට හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනතාව සතුටු වන බවක් පෙනෙන්නට තිබේ.

පෙබරවාරි සහ මාර්තු මාසය තුළ මහාපරිමාණයෙන් පුද්ගල පරීක්ෂාවන් දියත් කරමින් කොරෝනාවෛරසය පැතිරීම පාලනය කර ගැනීමට දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන්ට හැකි විය.

කොරෝනාවෛරස් ආසාදිතයන් දකුණු කොරියාවෙන් වාර්තා වූ ඉහළම අගය පෙන්නුම් කළේ පෙබරවාරි මාසයේ දීය. එය දිනකට 900ක් පමණ විය.

මේ වනවිට දිනකට වාර්තා වන නව රෝගීන්ගේ ගණන 50කට වඩා අඩු අගයක පවතී. 7,000කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇත.

එමගින් ජනාධිපතිවරයාගේ පක්ෂයට නව ජවයක් ලැබුණි. ඔහුගේ විරුද්ධවාදීහු රටේ සෞඛ්‍ය සේවකයන්ට ගෞරවය පුද කරති.

මෙවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් දෙවැනි වතාවට කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ විය හැකි බවට ද බියක් පවතී.

නමුත් වසංගත තත්ත්වයක් හමුවේ කළ හැක්කේ කුමක්දැයි ඔප්පු කිරීමට දකුණු කොරියාව දැනට අධිෂ්ඨානශීලීව සිටී.

සබැඳි යොමු: