"කිලෝ 500ක් බර" කලවා අස්ථිය

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නිරිතදිග ප්‍රංශයේ කැණීම් සිදු කළ විද්‍යාඥයන් පිරිසකට විශාල ඩයිනෝසර කලවා අස්ථියක් හමු වී තිබේ.

වසර 10 ක් පමණ කාලයක් පුරා එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එහි තිබී විවිධාකාර පොසිල හමු වී ඇත.

හමු වී ඇති කලවා අස්ථිය මීටර් 2ක් පමණ දිගය.

මෙය, ශාක කොටස් ආහාරයට ගන්නා සෞරෝපොඩ් නමින් හැඳින්වෙන ඩයිනෝසරයෙකුගේ අස්ථියක් ලෙස සැලකේ. එම ඩයිනෝසරයන් දිගු බෙල්ලක් සහ වලිගයක් සහිතය.

ජුරාසික් යුගයේ අවසාන කාලයේ ජීවත් වුවා යැයි හඳුනාගෙන ඇති සෞරෝපොඩ් ඩයිනෝසරයන් මෙතෙක් පොළොව මත විසූ විශාලම සත්ත්ව කොට්ඨාසයකි.

හමුවූ පාද අස්ථිය සුරැකිව තිබූ ආකාරය පිළිබඳව තමන් පුදුමයට පත්වූ බව පැරිසියේ, ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ රෝනාන් අලාන් පවසයි.

"මේ වගේ විශාල කොටසක් හමුවීම දුර්ලභයි. මොකද ඒවා පහසුවෙන් කැඩී යාම සහ කුඩු වීම සිදුවෙන නිසා."

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ප්‍රදේශයේ 2010 සිට කැණීම් සිදුවේ

මෙම වර්ගයේ ඩයිනෝසරයන් ජීවත් වී තිබෙන්නේ වසර මිලියන 140 කට පමණ පෙර බවත් ඉන් එක් සතෙකු ටොන් 40ත් 50ත් අතර බරකින් යුක්ත වන්නට ඇති බවත් අලාන් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

පුවත් පත් වාර්තාවක සඳහන් වූ ආකාරයට 2010 වසරේදී එම කැණීම් භූමියෙන් හමුවූ එවැනිම කලවා අස්ථියක් මීටර් 2.2 පමණ දිගකින් යුක්ත විය. එහි බර කිලෝ ග්‍රෑම් 500 කි.

පසුගියදා හමුවූ අස්ථිය ද ඉවතට ගත් විට ඒ හා සමාන බරක් ගනු ඇතැයි සැලකේ.

නමුත් එය ඉවතට ගැනීමට සතියක් පමණ කාලයක් ගත වනු ඇත. ඒ සඳහා දොඹකරයක් යොදා ගැනීමට නියමිතය.

BBC

ප්‍රංශයේ කොන්යැක් නම් නගරයට ආසන්න ශරෝන්ට් නම් ප්‍රදේශයේ විද්‍යාඥයන් 70ක් පමණ මෙම කැණීම් කටයුතු වලට සහභාගී වේ.

2010 සිට මේ දක්වා විශේෂ 40කට පමණ අයත් පොසිල 7,500කට වැඩි ප්‍රමාණයක් එම කලාපයෙන් සොයාගෙන ඇත.

කියවන්න: