ප්‍රාග් ඓතිහාසික පිලිස්සීම: පාන් නිෂ්පාදනයේ පැරණිම සාක්ෂි ජෝර්දානයෙන් සොයා ගැනේ

ඡායාරූප මූලාශ්‍රය, ALEXIS PANTOS
වසර 14 000 ක් අතීතයට දිවෙන පැරණිම පාන් පිලිස්සීමක් පිළිබඳ තොරතුරු පුරා විද්‍යා කැණීම් භූමියකින් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන් සමත්වී තිබේ.
එය පැතලි පාන් (flat bread) හැඩය ගන්නට ඇති අතර, එහි රස විවිධ ධාන්‍ය යොදා වර්තමානයේ සකස් කරන පාන් (multi-grain bread) රසට සමානවන්නට ඇති බව ඔවූහු විශ්වාස කරති.
"අපේ මුතුන්මිත්තන් පුච්චන ලද මස් එතීමට (wrap) පාන් පාවිච්චි කරන්නට ඇති. ඒ හේතුව නිසා මෙය පැරණිම පාන්ගෙඩිය වනවා සේම පැරණිම සැන්ඩ්විචයත් වෙනවා."
ජෝර්දාන කලු කාන්තාරයෙන් (Black Desert) කළ මෙම සොයා ගැනීමත් සමග පාන් නිෂ්පාදනයේ මුල් යුගය ගැන සොයාගෙන ඇති සාක්ෂිවලට වඩා තවත් වසර 5 000 ක් පමණ අතීතයට තල්ලුවනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා කැළෑ තිරිඟු සහ බාර්ලිවලට කුඩු කරන ලද ශාක මුල් මිශ්‍රකර ජලය සමග මිශ්‍රකර පසුව පුළුස්සා ආහාරයට ගෙන තිබේ.
"සැබෑ ආහාර පිසීමක් ලෙස ඇත්තටම අපට කිව හැකි පැරණිම සාක්කිය මෙයයි. ඒක මිශ්‍ර ආහාර නිෂ්පාදනයක්," ලන්ඩනයේ University College හි මහාචාර්ය ඩොරියන් ෆුලර් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, JOE ROE
පාන් දීර්ඝ කාලයක් තිස්සේ මිනිසාගේ ප්‍රධාන ආහාරයේ කොටසක්වී තිබිණි. නමුත් පාන්වල බිහිවීම පිළිබඳව අප දන්නේ ඉතා අල්ප වශයෙනි.
මෙතෙක් පාන් නිෂ්පාදනය සම්බන්ධයෙන් පැවති පැරණිම සාක්ෂි තුර්කියෙන් ලැබී තිබූ අතර, එම සොයා ගැනීම් වසර 9 000 ක් පමණ පැරණි විය.
විද්‍යාඥයෝ මෙම පුරා විද්‍යා බිමෙහි විශාල කවාකාර ගල් උදුන් සහිත ගොඩනැගිළි දෙකක් සොයා ගැනීමට සොයා ගැනීමට සමත්වූහ.
පාන් හා සබැඳි පුවත්:

ඡායාරූප මූලාශ්‍රය, ALEXIS PANTOS
එහිදී හමුවූ පාන් කොටස් අන්වීක්ෂයක පරීක්ෂා කිරීමේදී, එය ධාන්‍ය කුඩුකර, පිටි වෙන් කිරීමෙන් පසු හොඳින් මිශ්‍රකර පුළුස්සා ඇති බව අනාවරණය විය.
පාන්වල කොටස් සොයාගත් කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමයියා අරනස්-ඔතැයිගි (Amaia Arranz-Otaegui), එම භූමියේදී සොයා ගැනීමට අපේක්ෂා කළ අවසන් දෙය එය බව ප්‍රකාශ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, AMAIA ARRANZ OTAEGUI
"අපේ පැරණි සහ වර්තමාන ආහාර සංස්කෘතිය පිළිබඳ ශක්තිමත් සම්බන්ධතාවක් පෙන්වන්නේ පාන්."
"ප්‍රාග් ඓතිහාසික මිනිසා හා අප අතර සබඳතාව එමගින් ඇති කළා," ඇය වැඩිදුරටත් පැවසුවාය.
"ධාන්‍ය ඇඹරීම, සියුම් ලෙස පිටි සකසා ගැනීම, පිටි ගුලිය තනා ගැනීමට ජලය සමග මිශ්‍ර කිරීම, පිටි ගුලිය උණු අළු සහිත උදුනේ පැතළි ගලක් මත පුළුස්සා ගැනීම" ආදී වශයෙන් පාන් නිෂ්පාදනයේ අදියර කීපයක් තිබෙන්නට ඇති බව ඇය විස්තර කරයි.

























