ගින්නට හසු වූ නොට්‍ර ඩාම් දේවස්ථානයේ වටිනාකම

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඓතිහාසික නොට්‍ර ඩාම් දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් එහි වහලය සහ කොත සම්පූර්ණයෙන්ම විනාශ විය. ශෛලමය සැකිල්ල ද තර්ජනයට ලක් විය.
පැරිස් නුවර උප නගරාධිපතිවර එම්මානුවෙල් ග්රෙග්වාර් කියා සිටියේ දේවස්ථානයට "අතිවිශාල විනාශයක්" සිදු වූ බවය.
එහි තැන්පත් කර තිබූ මිල කළ නොහැකි කලා කෘති සහ අනෙකුත් භාණ්ඩ බේරා ගැනීම සඳහා හදිසි සේවා ක්‍රියාත්මක වෙයි.
දේවස්ථානයේ දැවමය අභ්‍යන්තරය මුළුමනින්ම ගිනිබත් වී හමාරය. වසර 850ක් පැරණි මෙම ගොඩනැගිල්ල ගොතික් සම්ප්‍රදායට අයත් ය.
'රෝස කවුළු'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම දේවස්ථානය සතුව 'රෝස කවුළු' තුනක් පවතී. ඒවා 13වන සියවසට අයත් ය. සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණය ඇත්තේ මෙම කවුළු නිර්මාණය දෙසට ය.
ඉන් කුඩා ම කවුළුව දේවස්ථානයේ බටහිර මුහුණතෙහි පිහිටා ඇත. එය නිම කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1225 දීය. වීදුරු රටා මතුවන ආකාරයට ඒ වටා ඉදිකර ඇති ශෛලමය නිර්මාණය දැකුම්කළු ය.
දකුණු පස පිහිටි රෝස කවුළුවේ විෂ්කම්භය අඩි 43ක් පමණ වෙයි. කැටයම් සහිත වීදුරු 84 කින් සමන්විතය.
මීට පෙර ඇතිවූ ගිනි ගැනීම් නිසා එහි මුල් වීදුරු කැටයමට හානි සිදු වී තිබුණි.
මෙවර ඇතිවූ ගින්නෙන් මෙම රෝස කවුළු තුනට හානි සිදුවී නොමැති නමුත් ගොඩනැගිල්ලේ පවතින දුර්වල තත්වය නිසා ඊට හානියක් සිදු වේදැයි බලධාරීහු බිය පළ කරති.
ගොතික් කුළුණු

ඡායාරූප මූලාශ්‍රය, AFP
නොට්‍ර ඩාම් දේවස්ථානයේ බටහිර මුහුණතෙහි පවතින ගොතික් සම්ප්‍රදායට අයත් කුළුණු දෙක අසල සංචාරකයෝ නිරායාසයෙන්ම මදවේලාවක් හෝ නැවතී බලා සිටීමට පෙළඹෙති.
මෙම කුළුණු ඉදි කිරීම ආරම්භ කෙරුණේ ක්‍රිස්තු වර්ෂ 1200 දීය. නමුත් පළමු කුළුණ නිම කෙරුණේ වසර 40කට පසුවය.
ඉන් දස වසරකට පසුව, එනම් 1250 දී දෙවන කුළුණ නිම කෙරුණි.
මීටර 68ක් උසැති මෙම කුළුණු තුළ පවතින පියගැටපෙළ, පඩි 387කින් සමන්විත ය. ඉන් ඉහළට නැගී විට මුළු පැරිසිය ම දර්ශණය වේ.
මෙම ඓතිහාසික කුළුණු දෙකට ගින්නෙන් හානියක් වී නොමැති බව බලධාරීහු නිවේදනය කළහ.
මිත්‍යා සත්ව රූප

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එම පියගැටපෙළ ඔස්සේ දේවස්ථානය මුදුනට පියමැන යන්නෙකුට අනිවාර්යයෙන් ම නෙත ගැටෙන සත්ව රූප කිහිපයකි.
සතුන් කිහිප දෙනෙකුගේ දේහ ලක්‍ෂණ එක්තැන් කර නිර්මාණය කර ඇති මෙම එක් මිත්‍යා සත්ව රූපයක් (gargoyles) පැරිස් නගරය දෙස නෙත් යොමා සිටී.
ඝාණ්ටාර

ඓතිහාසික නොට්‍ර ඩාම් දේවස්ථානය තුළ ඝාණ්ටාර දහයක් ඇත. ඉන් විශාලතම ඝාණ්ටාරයේ බර ටොන් 23කි. එය නම් කොට ඇත්තේ 'එම්මානුවෙල්' යනුවෙනි.
මෙම ඝාණ්ටාරය දකුණු කුළුණේ සවි කරනු ලැබුවේ 1685 වසරේදී ය.
එහි පවතින ඝාණ්ටාර දහයට ම නියමිත නමක් පවතී.
ප්‍රංශ විප්ලවය සමයේ දී කාලතුවක්කු උණ්ඩ නිපදවීම සඳහා එවක වූ ඝාණ්ටාර උණු කොට ලෝහ ලබා ගෙන තිබේ.
2013 වසරේදී මෙම දේවස්ථානයේ 850 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම ඝාණ්ටාර නැවත පිළිසකර කෙරුණි.
ගොතික් කොත

ඡායාරූප මූලාශ්‍රය, AFP
සඳුදා හටගත් ගින්නට ගොදුරු වී නොට්‍ර ඩාම් දේවස්ථානයේ කොත විනාශ විය. මෙහි ඓතිහාසික වටිනාකම 12වන සියවස දක්වා දිව යන්නකි.
මෙම කොත ඉතිහාසය පුරා වෙනස්වීම් කිහිපයකට ලක් විය. ප්‍රංශ විප්ලව සමයේ දී මෙය ගලවා දැමුණි. නැවත ඉදි කෙරුණේ 1860 දීය.
කෞතුක භාණ්ඩ

ඡායාරූප මූලාශ්‍රය, AFP
කෞතුක වටිනාකමින් යුත් භාණ්ඩ රාශියක් ඓතිහාසික නොට්‍ර ඩාම් දේවස්ථානය තුළ තැන්පත් කර තිබුණි.
ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට ගෙන යන මොහොතේ හිස පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන කටු ඔටුන්න ද ඉන් එකකි.
ජේසුස් වහන්සේ කුරුසයට තබා ගසන ලදැයි සැලකෙන ඇණයක් ද එහි විය.
නවවැනි ලුවිස් රජු ගේ ඔටුන්න සහ ඔහු හැඳ සිටි බවට සැලකෙන කබාය ද එහි තැන්පත් කර තිබුණි.
ඒවා ගින්නෙන් බේරා ගත් බව නිවේදනය විය. නමුත් ඇතැම් විශාල පින්තාරු ගින්නට හසුවී ඇති බව සැලවිණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප මූලාශ්‍රය, AFP









