නාදියා මුරාද්: ලිංගික වධහිංසාවලින් මිදී, නොබෙල් සාම ත්‍යාගය දක්වා

Nadia Murad

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නාදියා මුරාද් 2014 නොවැම්බර් මස කැරලිකරුවන්ගෙන් බේරී පලා ගොස් යාසිඩි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් බවට පත් විය

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IS) අයත් කැරලිකරුවන් විසින් වධහිංසාවලට ලක් කර දූෂණය කෙරුණ, ඉරාකයේ යාසිඩි ප්‍රජාවට අයත් නාදියා මුරාද්, පසුව ඔවුන්ගෙන් පලා යාසිඩි (Yazidi) ජනයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළාය.

දීර්ඝ ගමනකින් පසුව ඇය 2018 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවාය. මේ වසරේ දී මෙම ත්‍යාගය හිමි වූ අනෙක් පුද්ගලයා කොංගෝහි නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙකු වන ඩෙනිස් මුක්වීජ්ය.

නාදියා මුරාද් සිය පවුලේ සාමාජිකයන් සමග උතුරු ඉරාකයේ වාසය කළාය. 2014 වර්ෂයේදී කැරලිකරුවන් අතට පත් වූ ඇය තුන්මසක් ලිංගික වහලියක් ලෙස බලහත්කාරයෙන් රඳවා තබාගෙන ඇත.

අවස්ථා ගණනාවක දී ඇය වෙළෙඳ භාණ්ඩයක් ලෙස විකිණී ඇති අතර, ශාරීරික සහ ලිංගික වධබන්ධනවලට ලක් වී තිබේ.

නාදියා මුරාද් 2014 නොවැම්බර් මස කැරලිකරුවන්ගෙන් බේරී පලා ගොස් යාසිඩි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් බවට පත් විය. එමෙන්ම, ලෝකය පුරා සිදුවන මිනිස් ජාවාරමට සහ ස්ත්‍රී දූෂණවලට එරෙහිව හඬ නගන්නියක් ද වූවාය.

නාදියා මුරාද් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු ඉරාක ජාතිකයා වේ.

ඇය කැරලිකරුවන් අතට පත් වූයේ කෙසේද?

උතුරු ඉරාකයේ සිරියානු මායිම් අසල පිහිටි ඇයගේ ගම්මානයට ඉස්ලාමීය සංවිධානයේ කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරන විට ඇය 21 හැවිදිරි තරුණියකි. නාදියා මුරාද්ගේ මව සහ සහෝදරයන් හය දෙනෙකු ඇතුළු ඉස්ලාම් ආගම වැළඳගැනීම ප්‍රතික්ෂේප කළ සියලුදෙනාම ඔවුහු ඝාතනය කළහ.

කැරලිකරුවන්ගේ ග්‍රහණයට අසුවූ ඇය, ඉස්ලාමීය සංවිධානයේ "අගනුවර" යැයි පවසන මෝසුල් නගරයට බලහත්කාරයෙන් රැගෙන යනු ලැබිණ.

එහිදී ඇයට ඉස්ලාම් ආගම වැළඳගැනීමට බල කර තිබේ. එමෙන්ම, ඉස්ලාමීය සංවිධානයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන වහල් සේවයේ ලිංගික වහලියක් ලෙස කීපවතාවක් විකිණී ඇත.

"එක කාලයක දී දිගින් දිගටම මාව දූෂණය කළා. වෙන කිසි දෙයක් ලබා දුන්නේ නැහැ. අන්තිමට ඒක සාමාන්‍ය දින චරියාවේ කොටසක් බවට පත්වුණා," යැයි තමන් මුහුණ දුන් කටුක අත්දැකීම ගැන ඇය 2017 දී ලියූ සටහනක සඳහන් විය.

වරක් ඇය රහසේ පැන යාමට දැරූ උත්සාහයක් අතරතුර නැවතත් කැරලිකරුවෙකුට හසු වූ බව 2016 දී බීබීසී සමග සිදු කළ සාකච්ඡාවක දී ඇය පැවසීය.

Nadia Murad

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇයට පැන යාමට උදව් කළේ කවුද?

ඉස්ලාමීය සංවිධානයේ නීතිය අනුව පැන යාමට උත්සාහ කළ කාන්තාවක් හඳුන්වන්නේ යුද්ධය පාවාදෙන්නෙකු ලෙසිනි. එම කාන්තාව කූඩුවක සිර කර එම සංකීර්ණයේ සිටින සියලුම පුරුෂයෝ ඇය දූෂණය කරති.

නාදියා මුරාද්ට ද මෙම තත්වයට මුහුණ දීමට සිදු විය. ඔවුන් මෙම ක්‍රියාව හඳුන්වන්නේ "ලිංගික ජිහාඩ්" ලෙසය.

මෙම සිද්ධියෙන් පසු නැවතත් පැන යෑමක් ගැන සිතීමට පවා නොහැකි වූ බව ඇය පැවසුවාය.

නමුත් අවසානයේ දී, ඇය මෝසුල් නගරයේ තනිවම ජීවත් වන පුරුෂයෙකුගේ නිවසේ සිටි අතර, ඔහු තවත් පුද්ගයෙකුට ඇය "විකිණීමට" සැරසෙන බව දැන්වීය. කෙසේ හෝ ඇය එම ස්ථානයෙන් පැන ගොස් නිවසක් අසල නතර වී උදව් ලබා ගැනීමට උත්සාහ කර තිබේ.

එම නිවසේ සිටි මුස්ලිම් පවුල ඉස්ලාමීය සංවිධානයට සම්බන්ධ නොමැති බව දන්වා සිටි අතර, ඇයට පැන යෑමට උදව් කළාය. ඉරාක කුර්දිස්තාන මායිම් පසු කර තවත් යාසිඩි රැඳවුම්කරුවන් සිටින කඳවුරක් සොයා ගැනීමට ඇය සමත්විය. පසුව යුරෝපයට පැමිණි ඇය, වර්තමානයේ ජර්මනියේ වාසය කරයි.

මේ තොරතුරුද කියවන්න:

ක්‍රියාකාරිනියක් ලෙස ඇය ලැබූ වෙනත් සම්මාන මොනවාද?

ඉස්ලාමීය සංවිධානය තවමත් බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින දහස් ගණනක් කාන්තාවන් වෙනුවෙන් ඇය හඬ නගන්නීය.

මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාවන් වෙනුවෙන් යුරෝපා සංගමය ලබා දෙන 'Vaclav Havel' සම්මානයෙන් ඇය 2016 වර්ෂයේදී පිදුම් ලැබුවාය. ජාත්‍යන්තර අධිකරණයට යොමු කර තිබෙන ඉස්ලාමීය සංවිධානයට සම්බන්ධ අපරාධ නඩු විනිශ්චය කිරීම සඳහා ද ඇයට ආරාධනා ලැබී තිබේ.

එම වසරේදීම සිතීමේ නිදහස වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව ලබා දෙන 'Sakharov' සම්මානය ද ඇයට හිමි විය.

මිනිස් ජාවාරමෙන් ගැලවුන පුද්ගලයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ ප්‍රථම සන්නාම තානාපතිනිය වීමට මෙම වසර අගදී ඇයට හැකි විය.

තවත් තොරතුරු: