Volkswagen වාහනවල විමෝචන වංචාව නිසා Porsche ඩීසල් වාහන නිෂ්පාදනය නැවතේ

Porsche stops making diesel cars

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දැනට ඔවුන්ගේ ඩීසල් රථ භාවිත කරන පිරිසට අඛණ්ඩව සේවා සපයන බව පෝෂර්හි ප්‍රධාන විධායක නිලධාරියා පවසයි

ඩීසල් වාහන නිෂ්පාදනය නතර කර, ඒ වෙනුවට පෙට්‍රල්, විද්‍යුත් සහ දෙමුහුන් එන්ජිම සඳහා අවධානය යොමු කරන බව ජර්මානු මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන 'පෝෂර්' (Porsche)සමාගම පවසයි.

පෝෂර්හි මව් සමාගම වන ෆෝක්ස්වාගන් (Volkswagen) 2015 වසරේදී ඔවුන් නිෂ්පාදනය කරන ඩීසල් එන්ජිම්වල විමෝචනය සම්බන්ධයෙන් සිදු කළ වංචාව පිළිගැනීමත් සමග මෙම තීරණයට එළැඹ තිබේ.

පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, ජර්මනියේ සමහර නගරවල යම් කාලයකට ඉහත දී නිෂ්පාදනය කරන ලද ඩීසල් වාහන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

"ඩීසල් එන්ජිම තර්ජනයක් ලෙස අප ආයතනය දකින්නේ නැහැ," යැයි පෝෂර්හි ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් බ්ලුමෙ (Oliver Blume) පැවසීය.

"එය ඉතා වැදගත් තාක්ෂණයක් ලෙස ඉදිරියටත් පවතීවි," පැවසුවේය.

"අපි 'ස්පෝර්ට්ස්' වාහන නිෂ්පාදකයන් ලෙස, ඩීසල් භාවිතයට කොහොමත් දෙවෙනි තැන දීලා තිබුණේ. ඩීසල් වලින් තොර අනාගතයකට අපේ ඇති කැමැත්තට ඉඩ දෙන්න අපි තීරණය කර තිබෙනවා."

"ස්පෝර්ට්ස්' මෝටර් රථයකට හොඳ පෙට්‍රල් එන්ජිම."

දැනට ඔවුන්ගේ ඩීසල් රථ භාවිත කරන පිරිසට අඛණ්ඩව සේවා සපයන බව ඔහු පැවසුවේය.

Porsche stops making diesel cars

ඡායාරූප මූලාශ්‍රය, PORSCHE

ඡායාරූප ශීර්ෂ වැකිය, පෝෂර් සමාගම නිර්මාණය කළ ප්‍රථම රථය වසර කීපයකට පසු ඔස්ට්‍රියානු ගරාජයක තිබී හමු වී තිබේ

පෝෂර් සමාගම ඩීසල් එන්ජිම නිෂ්පාදනය නොකළ අතර, ඔවුහු අවුඩි (Audi) සමාගමේ නිෂ්පාදන ලබා ගැනීමට කැමැත්තක් දැක්වීය.

"කෙසේවෙතත්, පෝෂර්හි ප්‍රතිරූපයට හානි සිදු වුණා" යැයි ඔලිවර් බ්ලුමෙ පැවසීය.

"ඩීසල් එන්ජිම අර්බුදය නිසා අපිට ගොඩක් කරදර ඇති වුණා."

2007 සිට 2015 වසර දක්වා ෆෝක්ස්වාගන් සමාගම ලොව පුරා විකුණූ මිලියන 10කට අධික මෝටර් රථවල, විමෝචන පරීක්ෂාව නොමග යැවීම සඳහා රහස් මෘදුකාංගයක් ඇතුළත් කර තිබීම හේතුවෙන් මෙම වසර මුලදී යුරෝ බිලියනයක වන්දියක් ගෙවීමට ජර්මානු අධිකරණය නියම කර තිබේ.

වන්දි ගෙවීමට, දඩ මුදල් ගෙවීමට සහ එක්සත් ජනපදයෙන් නැවත වාහන මිලදී ගැනීම සඳහා ෆෝක්ස්වාගන් සමාගම තුළ බිලියන 30ක් වෙන් කර ඇත.

සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන සුඛෝපභෝගී මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට පෝෂර් සමාගම මේ වන විට යොමු වී ඇති අතර, එයට යුරෝ බිලියන ගණනක් ආයෝජනය කර ඇතැයි වාර්තා වේ.

පෝෂර් ආයතනයේ නිර්මාතෘ සිය ප්‍රථම මෝටර් රථය නිර්මාණය කරන ලද්දේ 1898 වසරේදී වන අතර, එය විද්‍යුත් බලයෙන් ක්‍රියා කර තිබේ. වසර කීපයකට පසු ගරාජයක තිබී මෙම රථය සොයා ගන්නා ලදී.

පෝෂර් සිය ප්‍රථම ඩීසල් රථය විකුණන ලද්දේ මින් වසර 10කට පෙරය.

මේ තොරතුරුද කියවන්න: