කුඩා දරුවන් ද සියදිවි නසාගන්නා ග්‍රීසියේ ඇති 'ලෝකයේ නරකම සරණාගත කඳවුර'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ග්‍රීසියට අයත් ලෙස්බොස් දූපතේ පිහිටා ඇති 'මොරියා කඳවුරේ නිරන්තරයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු වන අතර, එහි සිටිය යුතු ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනු දැකිය හැකිය. මෙම කඳවුර ඉතා අපිරිසිදු තත්වයේ තිබෙන අතර, අවුරුදු 10ක් තරම් වූ කුඩා දරුවන් පවා සියදිවිහානි කර ගැනීමට උත්සාහ කරන බව එක් පුණ්‍යායතනයක් පැවසීය. බීබීසී වැඩසටහනක් වන 'The Victoria Derbyshire' හි නිෂ්පාදන කණ්ඩායමකට මෙම කඳවුර ඇතුළට පිවිසීමේ විරල අවස්ථාව හිමි විය.
"අපි හැම වෙලාවේම මෙතනින් පැනල යන්න සූදානමින් ඉන්නේ. අපේ දරුවන්වත් පැය 24ම සූදානම් කරලා තියෙන්නේ" යැයි ඇෆ්ගනිස්තාන ජාතික සාරා ඛාන් පැවසීය.
"ප්‍රචණ්ඩත්වය කොයිතරම්ද කියනවනම් අපේ දරුවන් නිදා ගන්නෙත් නැහැ."
කඳවුර තුළ ආහාර ලබා ගන්න දවස පුරා පෝලිම්වල සිටින ආකාරය සහ නිරන්තරයෙන් ඇතිවන ගැටුම් උග්‍ර වන අවස්ථාවල, රාත්‍රියේදී පවා ඉවතට දිව යෑමට සූදානමින් සිටීම ගැන සාරා ඛාන් විස්තර කළාය.
කඳවුර තුළ තත්වය ඉතා දරුණු හෙයින් පුණ්‍යායතන මෙය හැරගොස් තිබේ.
කඳවුර තුළ දැඩි දුර්ගන්ධයක් පැතිරී ගොස් ඇති අතර, 70කට ආසන්න පිරිසක් එක් වැසිකිළියක් භාවිත කරන බව Medecins Sans Frontieres (MSF) නම් වෛද්‍ය පුණ්‍යායතනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමහර පුද්ගලයන් ජීවත් වන්නේ ජංගම කුටිවලය. තවත් විශාල පිරිසක් එකිනෙකා තෙරපෙමින් කූඩාරම්වල ජීවත් වෙති. ජීවත් වීම සඳහා නිල වශයෙන් භූමි ප්‍රමාණයක් නොමැති පුද්ගලයන් ඉටි රෙදි අටවාගෙන ජීවත් වනු දැකිය හැකිය.
මෙම කඳවුර ක්‍රමයෙන් අවට ප්‍රදේශය තුළ පැතිරී යමින් තිබේ. එක් කැන්වස් රෙද්දකින් තැනූ කූඩාරමක් තුළ පවුල් හතරකට අයත් 17 දෙනෙක් ජීවත් වෙති.
පුද්ගලයන් 2000කට ආසන්න ප්‍රමාණයක් රැඳවිය හැකි මොරියා කඳවුර තුළ මේ වන විට 8000 ට වැඩි ප්‍රමාණයක් තෙරපෙමින් ජීවත් වෙමින් සිටිති.
දින 12 ක් වයසැති සිය දියණිය සමග ජීවත් වන කූඩාරම් පොලවේ අසූචි තිබෙන ආකාරය ගැන එක් මවක් විස්තර කළාය.
කඳවුර තුළ දැඩි ප්‍රචණ්ඩත්වයක් දැකිය හැකිය. පසුගිය මැයි මාසයේ දී කඳවුර තුළ සිටින අරාබි සහ කුර්දි ජාතිකයන් අතර ඇති වූ විශාල ගැටුමකින් පසු සිය ගණනක් කුර්දි ජාතිකයෝ කඳවුරෙන් පළා ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපි එතනට ගිය පසු දැනගන්න ලැබුණා නිකායවාදය සහ ජාතිවාදය තිබෙන බව. සමහර විට එය සුන්නි සහ ෂියා මුස්ලිම් අතර, නැත්නම් කුර්දි, අරාබි හෝ ඇෆ්ගනිස්තාන ජාතිකයන් අතර" යැයි අලි සිය පවුල සමග ප්‍රථමයෙන් මොරියා කඳවුරට ගිය අවස්ථාව විස්තර කළේය. ඔහු මේ වන විට කඳවුර අත්හැර ගොස් සිටී.
සිරියාවේ විප්ලව කණ්ඩායම් ද මෙම සරණාගත කඳවුර තුළට පැමිණ ඇති බව ඔහු පැවසීය.
"එය හරියට සිරියාවේ යුද්ධය වගේ. සමහරවිට ඊටත් වඩා අප්‍රසන්නයි. එහි සිදුවන කාන්තාවන් දුෂණය කිරීම් මෙන්ම ලිංගික හිංසා ගැන ද අසා තිබෙනවා," ඔහු පැවසුවේය.
බීබීසී කණ්ඩායම මොරියා කඳවුර තුළ පටිගත කිරීම්වල යෙදෙන අතරතුර පවා දහවල් ආහාරය ලබා ගැනීම සඳහා වූ පෝලිමේ සිටි පිරිසක් අතර ගැටුමක් ඇති විය. එහිදී දෙදෙනෙකුට පිහි ඇනුම් තුවාල සිදුවූ අතර, අනෙක් පිරිස එම සිද්ධිය දැකීමෙන් භීතියට පත්වී සිටියහ.

MSF ආයතනයට අනුබද්ධ වෛද්‍ය සේවා සපයන කූඩාරම කඳවුර අසළ ස්ථාපනය කර ඇත.
කඳවුර ඇතුළත පවතින තත්ත්වයට විරෝධය පෑමක් ලෙස මෙම වෛද්‍ය පුණ්‍යායතනය වරක් එයින් ඉවත් විය. නමුත් එහි තත්ත්වය තවත් දරුණු අතට හැරීමත් සමග ඔවුහු නැවතත් කඳවුරු ගේට්ටුව අසල සිය සායනය පවත්වාගෙන යෑමට කටයුතු කරති.
මෙහි ඇති අපිරිසිදු වටපිටාව නිසා කුඩා දරුවන්ට සමේ රෝග රෝග වැළදී ඇත. එමෙන්ම, ගැටුම් නැවත්වීම සඳහා පොලිසිය නිරන්තරයෙන් එල්ල කරන කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඔවුහු ශ්වසන රෝගවලින් ද පීඩා විඳිති. තවත් බොහෝ පිරිසක් මානසික රෝගවලට ගොදුරු වී ඇත.

අවුරුදු 10 ක පමණ කුඩා දරුවන් සියදිවිනසා ගැනීමට තැත් කළ අවස්ථා තිබූ බව කඳවුරේ සේවකයෝ පවසති.
"ඒ වගේ දේවල් අපි නිතරම දකිනවා" යැයි MSF ආයතනයේ ලෙස්බොස් දූපත් සම්බන්ධීකාරක ලූකා ෆොන්ටානා පැවසීය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමට (UNHCR) සහ ග්‍රීසියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳ දැන්වීමට ඔවුන් කටයුතු කර තිබේ.
"මෙම දරුවන් හැකිතාක් ඉක්මණින් ඇතන්ස් නගරයට රැගෙන යන්න කියා අපි බල කරනවා. නමුත් එය සිදුවන්නේ නැහැ. දරුවෝ තවමත් කඳවුර තුළ සිටිනවා."
සරණාගතයින් වෙනත් ස්ථානයකට මාරු කර යවන තුරු තාවකාලික රැඳවුම් ස්ථානයක් ලෙස මෙම කඳවුර 2015 දී පිහිටුවා තිබේ. කෙසේවෙතත්, සමහර පුද්ගලයන් වසර ගණනාවක් මෙම ස්ථානයේ ජීවත් වෙමින් සිටිති.

මෙය පාලනය කරනු ලබන්නේ ග්‍රීසියේ රජය විසිනි. ඔවුන් යුරෝපා සංගමයේ "ඉවසීමේ" ප්‍රතිපත්තිය අනුගමනය කිරීම මෙම කඳවුර පුද්ගලයන්ගෙන් පිරී ඉතිරී යෑමට හේතුවකි. මෙම රැඳවියන් ග්‍රීසියේ ප්‍රධාන භූමියට මාරු නොකර දූපතක රඳවා තැබීමට ද කටයුතු කර තිබේ.
මෙය, යුරෝපා සංගමය සහ තුර්කිය අතර ඇතිවූ ගිවිසුමේ එක් අංගයකි. 2016 වසරේ සිට ක්‍රියාත්මක වන එම ගිවිසුමට අනුව දහස් ගණනක් සරණාගතයින් තුර්කියට හරවා යැවීම අරමුණ වී ඇත.
කෙසේනමුත්, ගිවිසුම ක්‍රියාත්මක වූ දින සිට 2018 දක්වා මුහුදු මගින් ග්‍රීසියට අලුතින් පැමිණි සරණාගතයන් සංඛ්‍යාව 71,645 ක් වන අතර, තුර්කියට නැවත යවා ඇත්තේ 2,224 ක් පමණක් බව යුරෝපා සංගම් දත්ත අනුව පෙනී යයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කඳවුර තුළ තත්වය ඉතා නරක බව පිළිගන්නා අතර, මේ ගැන දෝෂාරෝපණ එල්ල කළ යුත්තේ ග්‍රීසියට නොව යුරෝපා සංගමයට යැයි මොරියා කඳවුරේ රජයේ මාධ්‍ය නියෝජිතයා වන George Matthaiou පැවසීය.
"අපිට මුදල් නැහැ. ආර්ථික වශයෙන් ග්‍රීසියේ තත්වය ගැන ඔබ දන්නවා," ඔහු පැවසුවේය.
"මට ඔවුන්ට උදව් කරන්න අවශ්‍ය වුණත්, ඒක කරන්න බැහැ. එයට හේතුව, යුරෝපා සංගමය මායිම් වසා දමා තිබීමයි."
ලෝකය පුරා ගැටුම් පවතින ප්‍රදේශවල රැකියාව කර ඇති MSF ආයතනයේ ලූකා ෆොන්ටානා පැවසුවේ ඔහුගේ ජීවිත කාලය තුළ දැක ඇති දරුණුතම ස්ථානය මෙම කඳවුර බවය.
බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය පැතිරී යන කාලය තුළ ඔහු එහි සේවය කර ඇති අතර, "මේ කඳවුරේ තරම් මිනිසුන් දිනපතා විඳවනවා මම කවදාවත් දැකලා තිබුණේ නැහැ" යැයි පැවසීය.
"ඉබෝලා වෛරසය ශරීරගත වුණ අයටත් ජීවත් වීමට බලාපොරොත්තුවක් තිබුණා. ඒ පුද්ගලයන්ට සිය පවුලේ සහය ලැබුණා, සමාජයෙන්, ගමෙන් සහ ඥාතීන් උදව් කළා. නමුත් මේ කඳවුරේ සිටින මිනිස්සුන්ගේ බලාපොරොත්තු ක්‍රමවේදය විසින් නැති කර දමා තිබෙන්නේ."
මේ තොරතුරුද කියවන්න:
- යුරෝපා බලධාරීහු තුර්කි කඳවුරු පිරික්සති
- ඕස්ට්‍රේලියාවේ සරණාගත ළමුන් නිදහස් පරිසරයකට
- දිවි රැකුමට ඇඟ විකුණන සරණාගත තරුණයෝ
- ඔස්ට්‍රේලියා සරණාගත කඳවුර : ජලය සොයා 'ළිං කණිති'
- අනාථ කඳවුරුවල විකිණෙන රෝහින්ග්‍යා කෙල්ලෝ
- සරණාගතයන් සමාජගත කරන්නැයි ඉල්ලීමක්
- මැනුස් දුපත : අර්බුදකාරී සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය ගැන බිඳක්
- සරණාගතයන් 300,000 ක් මේ වසරේ ජර්මනියට








