මහතීර්: ඡන්දයෙන් පත්වන ලොව වයස්ගතම නායකයා

මහතීර් මොහොමඩ්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මහතීර් මොහොමඩ්

මැලේසියාවේ මහා මැතිවරණයෙන් ලද අනපේක්ෂිත ජයග්‍රහණයත් සමග එරට හිටපු අගමැතිවරයෙකු වන මහතීර් මොහොමඩ් යළි බලයට පත්වන්නේ ඡන්දයකින් පත්වුණු ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමිනි.

දේශපාලනමය වශයෙන් ගතකළ විශ්‍රාමික දිවියෙන් මිදුණු 92 හැවිරිදි මහතීර්, දූෂණ චෝදනාවල වෙළුණු සිය කණිෂ්ට හිතෛශියෙකුව සිටි අගමැති නජිබ් රසාක්ට අභියෝගයක් වෙමින් විපක්ෂයට මාරු විය.

මහතීර් ලද ඓතිහාසික ජයග්‍රහණයත් සමග 1957 වසරේ මැලේසියාව නිදහස ලැබීමේ සිට එරට පාලනය ගෙන ගිය බීඑන් (BN) සභාගය බලයෙන් ඉවතට විසිවිණි.

සිය සන්ධානය "නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපනය" කරන බව මහතීර් පැවසද්දී සිය පාරාජය පිළිබඳ නජිබ් රසාක් මෙතෙක් කිසිවක් පවසා නැත.

මහතීර් අයත් 'අපේක්ෂාව පිළිබඳ සන්ධානය', තරග වැදුණු ආසන 222න් ආසන 113ක බලය තහවුරු කරගැනීමට සමත් වූ අතර ඉන් ඇතැම් ආසන කිසිදාක විපක්ෂය විසින් ජයගනු ලැබ නැත. බීඑන් පක්ෂයට ආසන 79ක් හිමිවිය.

බ්‍රහස්පතින්දා සිය දිවුරුම් දීම පැවැත්වෙනු ඇති බව ක්වාලාලම්පුර් අගනුවරදී සිය ජයග්‍රහණය ප්‍රකාශයට කළ මහතිර් සිය ආධාරකරුවන්ගේ ජයඝෝෂා හමුවේ සඳහන් කළේ දින දෙකක නිවාඩුවක් දෙන බවය.

"නමුත් ජයග්‍රාහකයින්ට නිවාඩුවක් නැහැ" යැයි ඔහු කීය.

වීථිවලට පිවිසි විපක්ෂ ආධාරකරුවන් ජයග්‍රහණය සැමරූ අතර ඉන් බොහොමයක් දෙනා මෙතෙක් සිය ජීවිත කාලයම එක් ආණ්ඩුවක් යටතේ විසුවෝ වූහ.

මේ තොරතුරු ද දැනගන්න:

ජය සමරන ආධාරකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජය සමරන ආධාරකරුවන්

ඒඑෆ්පී පුවත් සේවයට අදහස් පළකළ 48 හැවිරිදි සුවා සෙල්වන්, "මේ වෙනසත් සමග අනාගතයේදී යම් හොඳ දෙයක් දකින්නට ලැබේවි යැයි හිතනවා" යනුවෙන් කියා සිටියේය.

දූෂණය හා ආර්ථිකය

බීඑන් සභාගයේ ප්‍රධානත්වය දැරූ මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දී ඉවත්ව යනතෙක් වසර 22ක කාලයක් අගමැති ධුරය හෙබවීය.

'ඒෂියන් ටයිගර්ස්' යනුවෙන් (Asian tigers) හැඳින්වෙන 1990 ගණන්වලදී සිය ආර්ථිකය වේගයෙන් පුළුල් කරගත් රටවල් සමූහය අතරට මහතිර්ගේ නායකත්වය යටතේ මැලේසියාව ද එක්විණි.

එහෙත්, සිය දේශපාලන විරුද්ධවාදීන් සිරකිරීම සඳහා අර්බුදකාරී ආරක්ෂක නීති උපයෝගීකරගත් ඒකාධිපති ස්වරූපයේ අයෙකු විය.

මෙයින් වඩාත් කුප්‍රකට වූයේ සිය නියෝජ්‍ය අගමැතිවරයාව සිටි අන්වර් ඊබ්‍රාහිම් ධුරයෙන් පහකර ඔහු වෙත දූෂණ හා පුංමෛථුනය පිළිබඳ චෝදනා එල්ල කිරීම වන අතර 1998 දී ඔහු ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා හඬ නගනවිට අවසානයේදී සිරගත කිරීමය.

මහතීර් විසින් මග පෙන්වන ලද නජිබ් රසාක් 2008 දී අගමැති ධුරයට පත්වුව ද නිරන්තරයෙන් ඔහුට දූෂණ චෝදනා එල්ල විණි.

රසාක් විසින් පිහිටුවන ලද '1Malaysian Development Berhad' නම්වූ රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 700ක් තමන් සිය සාක්කුවට දමා ගැනීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්විය.

දූෂණ චෝදනා පැවතිය ද නජීබ් රසාක් ජය ගනු ඇතැයි බලාපොරොත්තු පළවී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණ චෝදනා පැවතිය ද නජීබ් රසාක් ජය ගනු ඇතැයි බලාපොරොත්තු පළවී තිබිණි.

සියලු චෝදනා එක හෙලා ප්‍රතික්ෂේප කළ රසාක් මැලේසියානු බලධාරීන් විසින් චෝදනාවලින් නිදහස් කරනු ලැබුව ද රටවල් ගණනාවක් තවමත් අදාළ අරමුදල සම්බන්ධයෙන් විමර්ශනයක යෙදී සිටී.

නජිබ් රසාක් ගේ නායකත්වය යටතේ ආර්ථිකය ඉහළ නැගුන ද ඉහළ යන ජීවන වියදම මෙන්ම නව භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීම මත පසුගිය මැතිවරණවලදී බීඑන් පක්ෂයේ වර්ධනයට බලපෑම් එල්ල විය.

'මැතිවරණ අපරාධ'

තමන් බීඑන් (Barisan Nasional) පක්ෂයෙන් ඉවත්ව විපක්ෂ පීඑන් (Pakatan Harapan) පක්ෂයට එක්වන බව 2016 දී මහතීර් මොහොමඩ් ප්‍රකාශයට පත්කළේය. "දූෂණයට සහය දෙන්නේ යැයි පෙනෙන්නට ඇති පක්ෂයක් සමග" එක්ව කටයුතු කිරීමෙන් "අපහසුවට" පත්වූ බව ඔහු කියා සිටියේය.

මැතිවරණය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සිය වයස පිළිබඳ පළවන බියට ප්‍රතිචාර දක්වමින් මහතීර් කියා සිටියේ තමන් ඉවත්වීමට පෙර වසර දෙකක කාලයක් පාලනය ගෙන යන බවය. අන්වර් ඊබ්‍රහිම් හට සමාව ප්‍රදානය සඳහා කටයුතු සලසන අතර නැවත ඡන්දයෙන් පත්ව ඉහළම ධුරය දැරීම සඳහා අවශ්‍ය මග එළිපෙහෙළි කරන බවට ද ඔහු ප්‍රතිඥා දුණි.

මැතිවරණයට පෙර එල්ලවූ චෝදනාවලින් කියැවුණේ ඡන්දය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවය.

මැතිවරණ ප්‍රදේශ සීමා යළි සකසමින් මෑතකදී ආණ්ඩුව විසින් සම්මත කරගන්නා ලද නීතිය, චෝදනාවලින් කියැවුණේ සම්ප්‍රදායිකව බීඑන් පක්ෂයේ ආධාරකරුවන් වන මැලේ මුස්ලිම් ප්‍රජාවෙන් පිරී යාම තහවුරු කෙරෙන ආකාරයෙන් සිය වාසිය සඳහා මැතිවරණ බලප්‍රදේශ මායිම් වෙනස් කිරීම එයින් සිදුවන බවකි.

මෑතකදී හඳුන්වා දෙන ලද අර්බුදයකට තුඩුදුන් ව්‍යාජ පුවත් පිළිබඳ නව නීතිය ද විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබුවේ බලධාරීන් විරුද්ධ මත දරන්නන් වෙලාගැනීම සඳහා එය උපයෝගී කරගනු ඇති බවය.

මැතිවරණයට දින ගණනකට පෙර මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල කළ 'Bersih 2.0' නම් මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කණ්ඩායම පැවසුවේ මැතිවරණ කොමිසම "මැතිවරණ අපරාධ" වැඩි කරමින් සිටින බවය. තැපැල් ඡන්ද අක්‍රමිකතා මෙන්ම මියගිය පුද්ගලයින් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් නොකිරීම වැනි කරුණු මේ සඳහා පෙන්වා දී ඇත.

මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් වනු ඇතැයි ආණ්ඩුව අවධාරණය කළ අතර මැතිවරණ කොමිසම "සියල්ලගේ යහපතට" ක්‍රියාකළ බව නජිබ් රසාක් පැවසීය.