කොරියානු නායක හමුව: න්‍යෂ්ඨික ආයුධවලින් මුක්ත කිරීමේ එකඟත්වයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික ආයුධවලින් මුක්ත කිරීමට ඓතිහාසික හමුවකින් අනතුරුව උතුරු සහ දකුණු කොරියානු නායකයෝ එකඟ වූහ.
උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියාවේ නායක මූන් ජේ ඉන් ඒ බව නිවේදනය කළේ කොරියානු රාජ්‍යයන් දෙකේ දේශසීමාවේ දී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවය.
1953 කොරියානු යුද්ධයෙන් අනතුරුව එකඟ වූ සටන් විරාමය කලාපයේ ස්ථිර සාමයක් දක්වා වර්ධනය කිරීමට ද නායකයන් දෙදෙනා එකඟත්වය පළ කළහ.
කොරියානු නායකයන් දෙදෙනා එවැනි එකඟත්වයකට පැමිණියේ උතුරු කොරියානු නායකයා විසින් මාස ගණනාවක් මුළුල්ලේ එල්ල කරන ලද වාග් ප්‍රහාර සහ මිසයිල අත්හදා බැලීම්වලින් අනතුරුවය.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික ආයුධවලින් තොර කලාපයක් බවට පත්කරන්නේ කෙසේ දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීමේ උතුරු කොරියානු නායකයාගේ හදිසි උනන්දුව පිළිබඳ බොහෝ විශ්ලේෂකයෝ සැක පහළ කරති.

නායකයන් දෙදෙනාගේ ඒකාබද්ධ නිවේදනයේ ඇතුළත් අනෙක් ප්‍රධාන කරුණු අතර:
- කොරියානු රාජ්‍යයන් දෙක අතර එදිරිවාදිකම් අත්හිටුවීම
- එදිරිවාදී ගුවන් විදුලි ප්‍රචාර නවතා දමා රට බෙදා වෙන් කරන සටන් මුක්ත කලාපය "සාම කලාපයක්" බවට පත්කිරීම
- හමුදා උණුසුම අඩුකිරීම් වස් කලාපය තුළ රඳවා තිබෙන ආයුධ අඩු කිරීම
- ඇමෙරිකාව සහ චීනය ද ඇතුළත් ත්‍රිපාර්ශ්වික සාකච්ඡා සඳහා උත්සාහ දැරීම
- කොරියානු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසින් බෙදා වෙන් කෙරුණු පවුල්වල සාමාජිකයන් යළි එකමුතු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම
- දේශසීමාව ඔස්සේ දිවෙන දුම්රිය සහ මහා මාර්ග ප්‍රතිසංස්කරණය කර යළි භාවිතයට ගැනීම
- මේ වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා තවදුරටත් ඒකාබද්ධ කොරියානු කණ්ඩායම සහභාගි කරවීම
කොරියානු නායක හමුව ගැන තවත් කියවන්න:





