ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට සහ සතුටේ ඉහළට යන ශ්‍රී ලංකාව

Happiest countires

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කැන්ඩිනේවියානු රටවල් නිරන්තරයෙන් ප්‍රීතිමත්ම රටවල් පහ අතර රැඳීමට සමත් වී ඇත

එක්සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවකට අනුව මේ වසරේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව ඒකක හතරක් ඉහළට පැමිණ තිබේ.

පසුගිය වසරේ දර්ශකයේ 120 වෙනි ස්ථානය හිමිව තිබුණු ශ්‍රී ලංකාවට මේ වසරේ හිමි වී තිබෙන්නේ 116 වෙනි ස්ථානයය.

එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රකාර ලොව ප්‍රීතිමත්ම ජනතාව වෙසෙන රට ෆින්ලන්තයය.

ප්‍රීතිමත් බව මනිනු ලබන්නේ "රටවැසියන්ගේ සාපේක්ෂ සමෘද්ධිමත් බව" සලකා බැලීමෙනි. රටවැසියන්ට සතුට දැනෙන ආකාරය සහ එම සතුටට හේතු වන කරුණු මෙම වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන ඇත.

Happiest countires

යුදමය වාතාවරණයක් ඇති රටවල් සහ සමහර අප්‍රිකානු රටවල් නිතරම ලැයිස්තුවේ අවසාන රටවල් පහ අතර රැඳෙන විට ස්කැන්ඩිනේවියානු රටවල් නිරන්තරයෙන් ප්‍රීතිමත්ම රටවල් පහ අතරට එක්වීමට සමත් වී ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි බුරුන්ඩි අඩුවෙන්ම සතුටෙන් සිටින ජනතාව වාසය කරන රට ලෙස සැලකේ.

බුරුන්ඩි ජනාධිපතිවරයා 2015 දී තෙවන වරට ජනාධිපතිවරණයට තරග කිරීමට උත්සාහ කළ අවස්ථාවේ විරුද්ධ පක්ෂයෙන් ඇති වූ විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් රට අස්ථාවර වීම ජනතාව අසතුටට පත් වීමට හේතුව ලෙස සඳහන් වෙයි.

Happiest countires
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට - ෆින්ලන්තය

ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත් වන රටවල් තීරණය කිරීමේදී එකී රටවල වෙසෙන සංක්‍රමිකයන්ගේ දත්ත සහ අදහස් සැලකිල්ලට ගැනීමට මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත. වඩාත් සතුටින් සිටින සංක්‍රමිකයන් වෙසෙන්නේ ද ෆින්ලන්තයේ වීම විශේෂත්වයකි.

ෆින්ලන්තය ප්‍රසිද්ධ කුමකට ද?

  • ෆින්ලන්ත වැසියන් උණුසුම් ජල වාෂ්ප ස්නානය සඳහා දැඩි කැමැත්තක් දක්වයි. රට පුරා ජල වාෂ්ප ස්නානය කළ හැකි කුටීර මිලියන 3.3 ක් පිහිටා තිබෙන බව වාර්තා වෙයි.
  • යකඩවලින් තැනූ වාද්‍ය භාණ්ඩ භාවිත කරන ලෝකයේ වැඩිම සංගීත කණ්ඩායම් ප්‍රමාණයක් සිටින්නේ ෆින්ලන්තයේය.
  • පිනි මුවන් මෙන්ම උත්තරාලෝකය දිස් වන රටවල් අතරින් ෆින්ලන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි.
  • ලෝක ප්‍රසිද්ධ 'මූමින්ස් (Moomins)' කාටුන් චරිතය සහ 'ඇන්ග්‍රි බර්ඩ්ස් (Angry Birds)' වීඩියෝ ක්‍රීඩා ඇප් එකෙහි හිමිකරුවන් වන්නේ ෆින්ලන්තයය.

"මම හිතන්නේ ෆින්ලන්ත සමාජයේ විශ්වවිද්‍යාල, ඉතා හොඳ ගමනාගමන පහසුකම් ඇතුළු අන් සෑම දෙයක්ම ගොඩනගා තිබෙන්නේ ජනතාවගේ දියුණුව වෙනුවෙන්" යැයි ෆින්ලන්තයේ වෙසෙන ඇමරිකානු ජාතික ගුරුවරියක් වන බ්‍රියානා ඔවන්ස් (Brianna Owens) පැවසුවාය.

'සතුටෙන් සහ අසතුටෙන් සිටින රටවල්'

මෙම ලැයිස්තුවට රටවල් 156 ක් ඇතුළත් වී තිබෙන අතර, ඉන් 117 ක් තීරණය කර ඇත්තේ එම රටවල සංක්‍රමිකයන්ගේ අදහස් ද සලකා බැලීමෙනි.

නෝර්වේ, ඩෙන්මාර්ක්, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් පහ තුළ තිබෙන අතර, එක්සත් ඇමරිකා ජනපදය දහ අට වන ස්ථානයටත්, එක්සත් රාජධානිය දහනව වන ස්ථානයටත් පත්ව ඇත.

ටෝගෝ රාජ්‍යය පසුගිය වසරට වඩා ස්ථාන දාහතක් ඉහළට යන විට, වෙනිසියුලාව ස්ථාන විස්සක් පහතට වැටී දර්ශකයේ 102 වන තැනට පත්ව ඇත.

'ප්‍රීතිමත් රටවල් සහ ප්‍රීතිමත් සංක්‍රමිකයන්'

ප්‍රීතිමත් සංක්‍රමිකයන් ජීවත් වන්නේ ද මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන දහය ලබා ගත් රටවල වන අතර, ඔවුන් සංක්‍රමිකයන්ගේ සුබසාධනය සදහා බොහෝ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

මිලියන 5.5 ක් සිටින ෆින්ලන්තයේ 2016 වර්ෂය වන විට විදේශකයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් වෙසෙන බව වාර්තාවල සඳහන් වෙයි.

Happiest countires

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිනි මුවන් මෙන්ම උත්තරාලෝකය දිස් වන රටවල් අතරින් ෆින්ලන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි.

සෑම රටකම ජීවත් වන දහසකට අධික පිරිසක් යොදා ගෙන කළ නිරීක්ෂණයකින් පසු මෙම වාර්තාව සකස් කර ඇත. එහිදී සෑම පුද්ගලයකුටම ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර ඇත.

"ඉණිමඟක් ගැන සිතන්න. එහි පඩි පෙළේ 0 සිට 10 දක්වා අංක යොදා තිබෙනවා. එහි ඉහළ කොටසේ ඇති අංකවලින් ඔබේ ජීවිතය ඉතා සතුටුදායි ලෙස ගෙවෙන බව අඟවනවා. පහළ අංකවලින් දැක්වෙන්නේ ඔබ අසතුටින් සිටින බවයි. මේ මොහොතේ ඔබට දැනෙන්නේ පඩි පෙළේ කුමන ස්ථානයක ඉන්නවා කියා ද?" නිරීක්ෂකයින් විසින් යොමු කළ ප්‍රධානතම ප්‍රශ්නය විය.

ෆින්ලන්ත වැසියන්ගේ පිළිතුරු අනුව ඔවුන් 7.6 ක සාමාන්‍යය අගයක් ලබා ගෙන ඇති අතර බුරුන්ඩි වැසියන්ගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 2.9 කි.

එක් රටකට වඩා තවත් රටක වෙසෙන පුද්ගලයන් සතුටින් සිටින හේතුව මෙම වාර්තාවේ පැහැදිලි කර ඇත.

ජීවත් වීමට ලැබෙන සහය, ආයු අපේක්ෂාව, ආර්ථික වර්ධනය, නිදහස, නිර්ලෝභී බව මෙන්ම රටක පවතින දුෂණ වංචා ද මෙම වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන ඇත.

මේ තොරතුරුද දැනගන්න: