රෝහින්ග්‍යා අර්බුදය: 'හමුදාකරණය වූ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වාසය කළ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ "හමුදාව විසින් අත්පත් කරගනිමින්" සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
නව ඉදිකිරීම් සඳහා රඛයින් ප්‍රාන්තයේ ගම් බිම් ඩෝසර් මගින් සමතලා කරන බව සැටලයිට් ඡායාරූපවලින් මෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බවත් මානව හිමිකම් සංවිධානය පවසයි.
මේ හමුදාකරණය මගින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කෙරුණ අපරාධ සම්බන්ධ සාක්ෂි ඉවත් කෙරෙන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
මියන්මාර රජය මේ වන තෙක් මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වා නොමැත.
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් "සමූලඝාතනය" කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනා සම්බන්ධයෙන් "පැහැදිලි සාක්ෂි" ඉදිරිපත් කරන ලෙස මින් පෙර මියන්මාර රජය ඉල්ලා සිටියේය.
"මෙමගින් සිය දහස් ගණනක් වූ රෝහින්ග්‍යා ජනතාවගේ අනාගතය ගැන ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු තත්වයක් උද්ගත වී තිබෙන," බව ඇම්නස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර සිටියි.
රෝහින්ග්‍යා වැසියන්ට සිය ගම් බිම් හැර දමා පළා යාමට සිදු වූයේ එම ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය. එම ප්‍රහාර මැඩ පැවැත්වීමට බව පවසමින් පසුගිය අගෝස්තු මස මියන්මාර හමුදාව ප්‍රදේශය තුළ මෙහෙයුම් දියත් කරන ලදි.
එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම්, මිනී මැරීම් සහ ගම්මාන ගිණි තැබීම් සිදු වූ බව වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සබැඳි තොරතුරු:
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා ජන සමූහයට අයත් වැසියන් ලක්ෂ හතකට ආසන්න ගණනකට බංග්ලාදේශයට පළා යාමට සිදු විය.
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යළි මියන්මාරය වෙත ගෙන යාම සඳහා වන කාලරාමුවකට එකඟ වූ බව බංග්ලාදේශය පවසයි.
බංග්ලාදේශය වැඩිදුරටත් සඳහන් කළේ වසර දෙකක් ඇතුළත සියලුම රෝහින්ග්‍යා සරණාගතයන් මියන්මාරය වෙත පිටත් කර හැරීම සිය ඉලක්කය බවය.
නමුත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගත ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. නැවත මියන්මාරයට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙනුවෙන් නව ඉදිකිරීම් සිදු කළත්, මෙම ප්‍රදේශය "සැලකිය යුතු ආකාරයකට හමුදාකරණය වී ඇති" බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

"රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව අපරාධ සිදු කළ හමුදාවම ඔවුන් වෙනුවෙන් ගෙවල් සාදමින් සිටිනවා," යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්ෂවරියක් වන ටිරානා හසන් පැවසුවාය.
පෙර රෝහින්ග්‍යා ගම්මාන පිහිටා තිබුණු ස්ථානවල හමුදාවට පහසුකම් ලබා දෙනා ස්ථාන සහ මාර්ග ගොඩනඟා ඇති අතර, එහි අරමුණ එම ප්‍රදේශය තුළ තවදුරටත් හමුදා රැඳවීම බව එක් කණ්ඩායමක් පැවසූහ.
"මුළු ප්‍රදේශයම ඩෝසර් කර එහි තිබුණ මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ අපරාධවල සාක්ෂි මකා දැමීම නිසා ඒවාට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේ දී නීතිය ඉදිරියට ගෙන ඒම ඉතා අපහසු වෙනවා," යැයි ටිරානා හසන් පැවසුවාය.
ඇය තවදුරටත් පැවසුවේ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය ඉතා දිළිඳු ප්‍රදේශයක් වන බැවින් ඉතා කඩිනමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු අතර, ජාති භේදවලින් තොරව ප්‍රදේශයේ සියලු දෙනාටම එක ලෙස සංවර්ධනය භුක්ති විඳීමට සැලැස්විය යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, AMNESTY/DIGITAL GLOBE
රඛයින් ප්‍රාන්තය තුළ සිදුවන බොහෝ දේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගෙන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සහ මාධ්‍ය ආයතනවලින් වසන් කිරීමට පියවර ගෙන ඇති බැවින් එහි තත්වය පිළිබද ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කිරීම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇත.
මියන්මාර රජය ඔවුන් හඳුන්වනු ලබන්නේ බංග්ලාදේශයේ සිට පැමිණි සංක්‍රමණිකයන් ලෙසය. මේ හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරට පුරවැසිභාවය ප්‍රදානය කිරීම සහ සමාන අයිතිවාසිකම් ලබා දීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මේ තොරතුරුද දැනගන්න:








