රෝහින්ග්‍යා අර්බුදය විසඳීමට චීනයෙන් යෝජනාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP/ Getty Images
බංග්ලාදේශය වෙත පළා ගිය රෝහින්ග්‍යා ජනතාව නැවත මියන්මාරය වෙත රැගෙන ඒම සඳහා චීනය විසින් අදියර තුනකින් යුත් වැඩපිළිවෙලක් යෝජනා කරනු ලැබ ඇත.
චීනය විසින් එවැනි යෝජනාවක් කරනු ලැබුවේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වෙසෙන මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය මුල් කරගනිමින් මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලබා දීමේ උත්සාහයක් වශයෙනි.
මියන්මාර හමුදාව විසින් රඛයින් ප්‍රාන්තයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරනු ලැබීමත් සමග පසුගිය මාස කිහිපය තුළ රෝහින්ග්‍යාවරු හය ලක්ෂයක් පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගියහ.
හමුදාව සහ බෞද්ධ කලහකාරීන් විසින් තමන්ට වධහිංසා පමුණුවන ලද බව එලෙස පළා ආ රෝහින්ග්‍යා සරණාගතයෝ කියා සිටිති.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදාව පවසන්නේ රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය මෙහෙයුම්වල ඉලක්කය වී ඇති බවය.

ආසියානු සහ යුරෝපා විදේශ ඇමතිවරු සමග මියන්මාරයේ පැවති හමුවක දී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී කියා සිටියේ පළමුව රඛයින් ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ඇති කළ යුතු බවය.
ඉන් අනතුරුව රෝහින්ග්‍යා වැසියන් නැවත මියන්මාරය වෙත රැගෙන ඒම සඳහා ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් සෙවිය යුතු බව චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.
තෙවන පියවර වශයෙන් දුගීභාවය අඩු කිරීම මත පදනම් වූ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන රඛයින් ප්‍රාන්තය මියන්මාරයේ දිළිඳුතම ප්‍රාන්ත අතරින් එකකි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශය කරා ගලා යාම ආරම්භ වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් මියන්මාර පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය.
මියන්මාර හමුදා විසින් රඛයින් ප්‍රාන්තයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ ඒ සමගය.
රඛයින් ප්‍රාන්තය තුළ දියත් කළ එම හමුදා මෙහෙයුම "වාර්ගික ශුද්ධයකට කදිම උදාහරණයක්" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එහෙත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට නැගෙන චෝදනා මියන්මාර හමුදාව විසින් බැහැර කරනු ලබයි.
සබැඳි යොමු:












