ඔස්ට්‍රේලියාවෙන් ලෝක වෙළෙඳපොළට ගංජා

ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත.

ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.

කැනඩාව සහ නෙදර්ලන්තය අනුව යමින් දේශීය වෙළෙඳ පොළෙන් ඔබ්බට ගංජා විකිණීමේ පරිසරය නිර්මාණය කර ගැනීමට දැනට පවතින රෙගුලාසි වෙනස් කර ගැනීම ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ සැලැස්ම වෙයි.

එවැනි සැලැස්මක් උරුගුවේ සහ ඊශ්‍රායලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

තමන් අනුගමනය කිරීමට යන ක්‍රියාමාර්ගය විදේශිකයන්ට පමණක් නොව දේශීය රෝගීන්ටත් පලදායී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසයි.

ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත.

එහෙත් දැනට ඔස්ට්‍රේලියාවේ පවතින නීතිය අනුව මත් ද්‍රව්‍යයක් ලෙස ගංජා පාවිච්චිය තවමත් නීති විරෝධී වෙයි.

ගංජා නීතිගත කිරීමට එරෙහි උරුගුවේ වැසියන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංජා නීතිගත කිරීමට එරෙහි උරුගුවේ වැසියන්

"අපේ අරමුණ ඉතාම පැහැදිලියි. ඖෂධ වශයෙන් ගංජා අපනයනය අතින් ලෝකයේ පළමු ස්ථානය හිමිකර ගැනීම ඔස්ට්‍රේලියානු ගොවීන්ට සහ නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවක්" සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් කියා සිටියේය.

ගංජා වලට අදාළ එරට ජාතික රෙගුලාසි වෙනස් කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය කරනු ඇත.

ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයේ සහයෝගය ද ඇතිව එය ඉතා ඉක්මනින් ලබන පෙබරවාරි මාසයේ වනවිට ඉටුකර ගැනීම ආණ්ඩුවේ අරමුණයි.

එසේ සිදු කරනු ලබන එම වෙනස්කම් බෙහෙත් තෙල්, වේදනා නාශක බෙහෙත් අණ්ඩ,ලොසින්ජර්,ශරීරයට ඉසින දියර සහ පෙති වර්ග ආදියටත් අදාළ වනු ඇත.

එම වෙනස ඔස්ට්‍රේලියානු රෝගීන්ට ඵලදායී වන අතරම එය ව්‍යාපාරික මට්ටමින් දේශීය කර්මාන්තය නංවාලීමට හේතු වනු ඇතැයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් බලාපොරොත්තු පළ කරයි.

ගංජා අවසරය සහිත නෙදර්ලන්ත අවන්හලක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංජා අවසරය සහිත නෙදර්ලන්ත අවන්හලක්

'ග්‍රෑන්ඩ් වීව් රිසර්ච්' නම් ඇමෙරිකානු පර්යේෂණ සමාගම ඇස්තමේන්තු කර ඇති පරිදි ඖෂධමය ගංජා අලෙවි කෙරෙන ජගත් වෙළෙඳපොල 2025 වසර වනවිට ඩොලර් කෝටි 5500 තරම් වනු ඇත.

කැලිෆෝනියාව විනෝදය සපයන මත්ද්‍රව්‍යයක් හැටියට ගංජා පාවිච්චිය නීතිගත කරන විශාලතම එක්සත් ජනපද ප්‍රාන්තය බවට පසුගිය සතියේ පත්විය.

තවත් තොරතුරු;