සිරියාවට ගිය රුසියානු ජනපතිගෙන් නියෝගයක්

Russian President Vladimir Putin arrives to the Russian air base in Hmeimim in Syria, 11 December 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලටාකියා ප්‍රදේශය ආසන්නයේ පිහිටි මේමීම් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපති පූතීන්

සිරියාවේ යොදවා සිටින රුසියානු හමුදා සෙබළුන්ගෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට ජනාධිපති ව්ලැදමීර් පූතීන් නියෝග කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා විසින් අදාළ නියෝගය ලබා දෙනු ලැබුවේ සඳුදා (දෙසැ 11) ඔහු සිරියාවේ සිදු කළ හදිසි සංචාරයක් අතරතුරදීය.

ලටාකියා ප්‍රදේශය ආසන්නයේ පිහිටි මේමීම් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපති පූතීන් සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් හමු විය.

සිරියාවේ සිවිල් යුද්ධය ජනාධිපති අසාද්ට වාසි සහගත අයුරින් පරිවර්තනය කිරීම සඳහා රුසියාවේ හමුදා සහාය ඉතා තීරණාත්මක වේ.

එමෙන්ම සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය පාලනය පරාජයට පත් කිරීමටත් රුසියාවේ හමුදා සහාය හේතු විය.

පසුගිය වසරේදී ද රුසියානු ජනාධිපතිවරයා විසින් සිරියාවේ යොදවා සිටින සිය හමුදා භටයන්ගෙන් කොටසක් ඉවත් කර ගනු ලැබූ නමුත් සිරියාව තුළ හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරනු ලැබීය.

A Russian bomber lands at the Russian Hmeimim military base in Latakia province, in the northwest of Syria, 16 December 2015

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාව විසින් සිරියාව තුළ ගුවන් හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේදීය

ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපති පූතීන් අදහස් දක්වමින් "රුසියානු හමුදා භට කණ්ඩායම් ඔවුන්ගේ ස්ථීර හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කරන ලෙස මම ආරක්ෂක ඇමතිවරයාට සහ ඒකාබද්ධ හමුදා ප්‍රධානියාට නියෝග කළා" යනුවෙන් පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

"ත්‍රස්තවාදීන් යළි හිස එසවූවොත්" රුසියාව විසින් "ඔවුන් කිසිදාක දැක නැති ආකාරයේ ප්‍රහාර" එල්ල කරනු ඇති බවටත් ජනාධිපති පූතීන් අනතුරු අඟවා තිබේ.

"සිරියාවේ මෙන්ම රුසියාවේත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර මරණයට පත් පුද්ගලයන් අමතක නොකරන" බවත් ඔහු පැවසීය.

සිරියාවට සහාය ලබා දෙන අනෙකුත් ප්‍රධාන මිත්‍ර රාජ්‍යය වන ඉරානය සමග එක්ව වැඩ කිරීමට රුසියාවට අවශ්‍ය බව ජනාධිපති පූතීන් සිරියානු ජනාධිපතිවරයා එත පවසා තිබේ.

line
line

නැගෙනහිර සිරියාවේ යුප්‍රටීස් ගංගා නිම්න ප්‍රදේශයෙන් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පලවා හැර ඇති බව ජනාධිපති පූතීන් පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ට සහාය ලබා දීමේ අරමුණින් රුසියාව විසින් සිරියාව තුළ ගුවන් හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ 2015 වසරේදීය.

මොසකව් බලධාරීන් කියා සිටියේ "ත්‍රස්තවාදීන්" පමණක් සිය ප්‍රහාරවල ඉලක්කය වනු ඇති බවය.

නමුත් අසාද් පාලනයට එරෙහි ප්‍රධාන ධාරාවේ කැරලි කණ්ඩායම් සහ සාමාන්‍ය වැසියන් ද ගුවන් ප්‍රහාරවලට ලක්ව ඇති බව ක්‍රියාධරයෝ පවසති.

රුසියානු ගුවන් හමුදා මෙහෙයුම් හමුවේ අලෙප්පෝ වැනි ප්‍රධාන යුද පෙරමුණු කිහිපයක බලය තහවුරු කර ගැනීමට සිරියානු ආණ්ඩුවට හිතවාදී හමුදාවලට හැකි විය.

Bashar al-Assad and Vladimir Putin shaking hands

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති බෂාර් අල් අසාද් (වම් පසින්) සහ ජනාධිපති ව්ලැද්මීර් පූතින්

කැරලිකරුවන් අත පැවති අලෙප්පෝ නගරය 2016 වසරේ දෙසැම්බර් මස ඔවුන් අතින් ගිලිහීමට පෙර එහි නැගෙනහිර ප්‍රදේශය වෙත සිරියානු සහ රුසියානු ගුවන් හමුදා විසින් දිනපතා ප්‍රහාර එල්ල කරනු ලැබීය.

එහිදී පුද්ගලයන් සිය ගණනින් මරණයට පත්වී රෝහල්, පාසල් සහ වෙළඳ සංකීර්ණ විනාශයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම් පවසති.

ගුවන් ප්‍රහාරවලට ලක්ව සාමාන්‍ය වැසියන් මිය ගොස් ඇති බවට එල්ල වන චෝදනා මොස්කව් පාලනය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය ඉරිදා (දෙසැ 10) වාර්තා කර තිබුණේ දරුවන් 1,537 ඇතුළු සාමාන්‍ය වැසියන් 6,328 රුසියානු ගුවන් ප්‍රහාරවලට ගොදුරු වී මරණයට පත්ව ඇති බවය.

2011 වසරේ දී අසාද් පාලනයට එරෙහිව සිදු වූ නැගිටීමේ ආරම්භයේ සිට එක්සත් රාජධානිය මුලස්ථානය කරගත් සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය වෙත වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 346,612 කි.

සබැඳි යොමු: