IS සංවිධානයට එරෙහි යුද්ධය අවසානයි - ඉරාකය

Iraqi forces as they captured Rawa from IS last month

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රාවා නගරයේ යොදවා සිටින ඉරාක හමුදා

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධය අවසන් බව ඉරාකය ප්‍රකාශයට පත් කරයි.

බැග්ඩෑඩ් අගනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අගමැති හයිදර් අල් අබාඩි කියා සිටියේ ඉරාක - සිරියානු දේශ සීමා කලාපයේ සම්පූර්ණ පාලනය ඉරාක හමුදාව අතට පත්ව ඇති බවය.

පසුගිය නොවැම්බර් මාසයේ දී අයිඑස් සංවිධානය සතුව තිබු රාවා නගරයේ බලය ඔවුන් අතින් ගිලිහුණු අතර එම සංවිධානයේ පාලනය දේශ සීමා කලාපයේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුණි.

ඉරාකය ඉහත කී නිවේදනය ප්‍රකාශයට පත් කළේ අයිඑස් සංවිධානය පරාජයට පත් කිරීම සඳහා අසල්වැසි සිරියාව තුළ ගෙන ගිය මෙහෙයුම අවසන් කළ බව රුසියානු හමුදාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් දින දෙකකට පසුවය.

2014 වසරේ දී ජිහාඩ් කණ්ඩායම විසින් සිරියාවේ සහ ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක් සිය පාලනයට නතු කර ගනු ලැබ තිබිණි.

Civilians flee as Iraqi forces battle to retake Mosul in March 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝසුල් නගරයේ බලය යළි ලබා ගැනීම සඳහා ඉරාක හමුදා 2017 මාර්තු මාසයේ මෙහෙයුමක් දියත් කිරීමත් සමග සාමාන්‍ය ජනයා නගරය හැර පළා ගියහ

එම කලාප ඉස්ලාමීය රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මිලියන දහයකට අධික සංඛ්‍යාවක් දැඩි නීතිවලට යටත් කරනු ලැබීය.

නමුත් පසුගිය වසර දෙකක කාලය තුළ ඉස්ලාමීය රාජ්‍යය සතුව තිබූ භූමි ප්‍රදේශ ගණනාවක් ඔවුන්ට අහිමි විය.

2017 වසරේ ජුලි මාසයේ දී ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මොසුල් නුවර බලය ඔවුන්ගෙන් ගිලිහිණි.

ඉස්ලාමීය රාජ්‍යයේ අගනුවර ලෙස සලකුණු සිරියාවේ රකා නගරය ඔවුන්ට අහිමි වුයේ පසුගිය නොවැම්බර් මාසයේදීය.

අයිඑස් කැරලිකරුවන්ගෙන් සමහරෙකු සිරියාවේ ගම්බද ප්‍රදේශ වෙත පළා ගොස් ඇති බව වාර්තා විය.

සෙසු පිරිස තුර්කි දේශ සීමාවෙන් ඔබ්බට පළා ගොස් ඇතැයි විශ්වාස කෙරේ.

Prime Minister Haider al-Abadi, January 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "සමගිය තුළින් අපි ජය ලැබුවා" යනුවෙන් අගමැති හයිදර් අල් අබාඩි පැවසීය

අයිඑස් සංවිධානයට එරෙහිව පැවති සටහන යුදමය වශයෙන් අවසන්ව ඇතත් ඉරාකයේ, සිරියාවේ හෝ බාහිර ලෝකය තුළ එම සංවිධානයේ මතවාදයට එරෙහිව පවතින සටන හෝ ඔවුන්ට කැරලිගැසීමට ඇති හැකියාව අවසන්ව ඇතැයි ඉන් අදහස් නොකෙරෙන බව අරාබි කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරක සෙබෙස්තියන් ඌෂර් පවසයි.

පෙරට සාපේක්ෂව ප්‍රහාර එල්ල වීම අඩු වශයෙන් සිදු විය හැකි වුවත් ඉරාකයේ නගර තවමත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක පවතින බව ඔහු පෙන්වා දෙයි.

ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි සටන සහ එහි ගමන් මග