"බූරුවාටත් ඉඩක් නැති ලෝකයක්"

ඇන්තනි සිය මිතුරා 'කාර්ලෝස්' සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්තනි සිය මිතුරා 'කාර්ලෝස්' සමඟ

තම පරපුර පවත්වා ගැනීම අතින් අද ලෝකයේ බලවත්ම අභියෝගයකට මුහුණ දී ඇති සත්ව විශේෂයක් වන්නේ බූරුවන්ය.

බූරු ගහනය පහත වැටීමට හේතුව බූරු හම් සඳහා චීනයේ ඇති ඉල්ලුමයි.

එපමණක් නොව චීනය සාම්ප්‍රධායික ඖෂධ වර්ග සහ සෞඛ්‍යයට හිතකර ආහාර පාන නිපදවීමටත් බූරු සිරුරේ කොටස් උපයෝගී කර ගනියි.

බූරු මාංශයත් ජනප්‍රිය ආහාරයක් වී ඇත. මසට ඇති ඉල්ලුම නිසා මරා දමනු ලැබීම මෙන්ම චීනයේ බූරු ගහනයේ පහත වැටීමට තවත් හේතුවක් වී තිබෙන්නේ ඉක්මන් බෝ කිරීමක් නොවීමයි.

එවැනි තත්වයක් තුළ බූරුවන් සඳහා වෙනත් රටවල් කෙරෙහි යොමු වීමට චීනයට සිදුව ඇත,

බූරු හිඟය අප්‍රිකානු ජනතාවට බරපතළ ප්‍රශ්නයක් වී ඇත.

බොට්ස්වානා - හම සඳහා මරා දමන ලද බූරුවන්ගේ ඇටසැකිලි
ඡායාරූප ශීර්ෂ වැකිය, බොට්ස්වානා - හම සඳහා මරා දමන ලද බූරුවන්ගේ ඇටසැකිලි

ඊට හේතුව විශේෂයෙන්ම දුප්පත් ජනතාවට ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම ගොවිතැනේදීත් බූරුවන්ගේ උදව්ව අවශ්‍ය කරන හෙයිනි.

පසුගිය අවුරුදු කීපය ඇතුළත ලෝකයේ බොහෝ රටවල බූරු මිල දෙගුණයකින් වැඩිවිය.

දිළිඳු පවුල්වලට අලුතින් බූරුවකු මිලට ගැනීමට වත්කමක් ද නොමැත.

කාර්ලෝස් (Carlos ) යනුවෙන් නම් තබා ඇති සිය බූරුවා වසර හතරක කාලයක් තමා වෙනුවෙන් හොඳ මෙහෙයක් ඉටු කළ බව කෙන්යාවේ භාණ්ඩ ප්‍රවාහකයකු වන ඇන්තනි මෝපේ වන්යමා (Anthony Maupe Wanyama) පවසයි.

" මම ගමක ඉඩම් කෑල්ලක් මිල දී ගත්තා. ගෙයක් ගත්තා. ඉස්කෝල ගාස්තු ගෙවා ගත්තා. මම මගේ පවුල රැකබලා ගත්තා." ඇන්තනි මෝපේ වන්යමා බීබීසියට කියා සිටියේය.

සිය ජීවනෝපාය සහායකයා වූ 'කාර්ලෝස්' බූරුවා අතර ඇන්තනිගේ ජීවිතයේම කොටසක් විය.

අපනයනයට සූදානම් බූරුහම්
ඡායාරූප ශීර්ෂ වැකිය, අපනයනයට සූදානම් බූරුහම්

ඒ නිසා ඔහුගේ ගමේ මිනිසුන් ඇන්තනි ඇමතුවේ ද 'කාර්ලෝස්' යනුවෙනි.

"දවසක් උදේ පාන්දර මම නැගිටින කොට 'කාර්ලෝස්' හිටියේ නැහැ. මම හැම තැනම බැලුවා.අන්තිමේ දී මට කාර්ලෝස් ගේ සිරුර හමුවුනා. කාර්ලෝස් මරල හම (skin) අරගෙන ගිහින්"

ප්‍රාණය සහ සමාන සිය සගයා වූ කාර්ලෝස්ගේ ඉරණම පිළිබඳව ඇන්තනි විස්තර කළේ කොපුල් තල ඔස්සේ උණු කඳුළු ගලා යමින් තිබියදීය.

අන්තිමට වෙනත් බූරුවකු කුලියට ගැනීමට ඇන්තනිට සිදු විය. ඔහුගේ ජීවනෝපාය වන්නේ බූරු කරත්තයෙන් නිල් පැහැති ප්ලාස්ටික් භාජන මගින් ජලය ප්‍රවාහනය කිරීමයි.

එහෙත් වැඩ සරු දවසකදී වුවද උපයනු ලබන මුදලින් අඩක්ම බූරු හිමියාට දීමට සිදු වීම ඔහුට දැරිය නොහැකි බරකි.

"දැන් මට සෑහෙන ආදායමක් නැහැ. කුලිය ගෙවා ගන්නත් බැරි වුනා.ඉස්කෝල ගාස්තු ගෙව්වෙත් නැහැ.මගෙන් යැපෙන අයත් ඉන්නවා" ඇන්තනි පවසයි.

එහෙත් ඔහුට යළිත් ඔහුගේම 'කාර්ලෝස්' කෙනකු මිල දී ගැනීමට වත්කමක් නොමැත.

බූරු හම්වලින් නිපදවන ලද මිල අධික ජෙලි ඇතුලු ආහාර චීන පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රියව ඇත,
ඡායාරූප ශීර්ෂ වැකිය, බූරු හම්වලින් නිපදවන ලද මිල අධික ජෙලි ඇතුලු ආහාර චීන පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රියව ඇත,

එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වෙන 'The Donkey Sanctuary' ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි වසරකට බූරු සම් ලක්ෂ දහඅටක් පමණ විකිණෙයි.

චීන ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව එරට බූරු ගහනය 1990 පටන් අද වනවිට එක්කෝටි දහ ලක්ෂයේ පටන් තිස් ලක්ෂයක් දක්වා පහත වැටී ඇත.

තම්බන ලද බූරු සමින් නිපදවන ලද 'Ejiao' නම් ජෙලි වර්ගයේ කිලෝවක් වෙළෙඳපොලේ විකුණනු ලබන්නේ ඇමෙරිකානු ඩොලර් $388 ක් තරම් මිලකටයි.

උගන්ඩා ,ටැන්සානියා, බොට්ස්වානා .නයිගර් , බුර්කිනා ෆාසෝ , සහ සෙනෙගාල් වැනි රටවල් චීනයට බූරුවන් අපනයනය තහනම් කරනු ලැබ ඇත.

බූරුමාංශ අලෙවිය සිම්බාබ්වේ වැනි ඇතැම් රටවළ හොඳ ආදායම් මාර්ගයක් වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බූරුමාංශ අලෙවිය සිම්බාබ්වේ වැනි ඇතැම් රටවළ හොඳ ආදායම් මාර්ගයක් වී ඇත.