සියයක් කාන්තාවෝ: නියෝජනය වැඩි කිරීම තරුණියන් දිරිමත් කරන්නක්ද?

A study found girls with women leaders had higher aspirations for themselves

ඡායාරූප මූලාශ්‍රය, DIPTENDU DUTTA

2016 ජුලි මාසයේ දිනෙක හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව බවට තේරී පත්වූයේ ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක ජනපති අපේක්ෂකයා ලෙසින් තෝරා ගැනුණු පළමු කාන්තාව බවට පත්වෙමිනි.

"මෙතරම් රාත්‍රිය වෙනතුරු නොනිදා සිටි තරුණියන් ඉන්නවා නම් මම ඔවුන්ට කියන්නේ," ප්‍රීති ප්‍රමෝදයට පත් හිලරි ක්ලින්ටන් සෘජුවම ආමන්ත්‍රණය කළේ කාන්තාවන්ටය.

"මීළඟ ජනාධිපතිනිය මම වෙන්න පුළුවන්, නමුත් ඊළඟ කාන්තාව ඔබෙන් කෙනෙක්."

අවසානයේ සිය සිහිනය සැබෑ කරගැනීමට ඇය අපොහොසත් වූවාය.

එනමුත් ගතව ගිය දශකය ඇතුළත ලොව පුරා ජනතා ඡන්දයෙන් බලයට පත් වූ කාන්තාවන් පිරිස දෙගුණ වී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, සියයක් කාන්තාවෝ: හිමි තැන නොලැබීම

පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Centre) පෙන්වා දෙන ආකාරයට මේ වනවිට ලොව පුරා කාන්තාවන් 15 ක් සිය රටවල රාජ්‍ය බලය හොබවන අතර, ඒ අතරින් අට දෙනෙකුම සිය රටේ බලයට පත් වූ පළමු කාන්තාවය.

අනෙක් අතට එහි අදහස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් රාජ්‍ය බලය හිමිව තිබෙන්නේ කාන්තාවන් 10% කටත් අඩු ප්‍රතිශතයකට බවය.

ඒ නායිකාවන් පිරිස පැහැදිළිවම බාධක බිඳ ඉදිරියට පැමිණීමට සමත් වුවත්, සිය රටේ අනෙක් කාන්තාවන්ට ද ලැබෙන අවස්ථා පුළුල් කිරීමට ඔවුන් සමත් වී තිබෙන්නේ ද?

ඒ පැනයට එක් පිළිතුරක් ලෙසින්, ඉන්දියාවේ පළාත් පාලන මැතිවරණ සඳහා කාන්තාවන් වෙනුවෙන් විශේෂ කෝටාවක් නියම කර තිබීම විමසා බැලිය හැකිය.

1993 දී ඉන්දියාවේ දියත් කරන ලද අත්හදා බැලීමක් ප්‍රකාර, අහඹු ලෙස තෝරා ගනු ලබන සෑම ඉන්දීය ගම් සභා තුනකින් එකක්ම එහි සභාපති පදවිය කාන්තාවක් සඳහා වෙන් කළ යුතුය.

Images of Hillary Clinton and Angela Merkel both inspired women to make longer speeches

ඡායාරූප මූලාශ්‍රය, SEAN GALLUP

සිය ගම් සභාවේ නායකත්වය කාන්තාවකට හිමිවීම එම ගම්මානයේ තරුණ කාන්තාවන්ට සිය අනාගතය පිළිබඳ බලාපොරොත්තු දනවන්නක් බව දහස් ගණන් තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් යොදාගෙන 2012 දී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිදරවු විය.

එම අත්හදා බැලීමට ප්‍රථම සිය දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා සහ අනාගතය පිළිබඳව විමසු විට සාමාන්‍යයෙන් ඉන්දීය දෙමාපියන් බොහෝ බලාපොරොත්තු තැබුවේ සිය පුතුන් කෙරෙහිය.

එහෙත් කාන්තාවක පිට පිටම දෙවතාවක් නායකත්වය දැරූ කිසියම් ගම්මානයක සහ කිසි දිනෙක කාන්තාවකට නායකත්වය හිමි නොවූ ගම්මානයක දෙමාපියන් සිය දරුවන් කෙරෙහි තැබූ බලාපොරොත්තු විෂයයෙහිලා පුතුන් සහ දියණියන් අතර පරතරය 25% කින් අඩු වූ බව ද දක්නට ලැබුණි.

දරුවන් අතර ද එම පරතරය 32% කින් අඩු විය.

කාන්තාවක ගම් සභාවේ නායකත්වය දැරීම පුතුන් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු අඩුවීමට හේතු නොවූ බැවින්, පුතුන් සහ දියණියන් පිළිබඳ බලාපොරොත්තු අතර පරතරය අඩුවීම පැහැදිලිවම දියණියන් පිළිබඳ අපේක්ෂා ඉහළ යාම සනිටුහන් කරන්නක් විය.

කාන්තාවන් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ගම් සභා නායිකාවක සතු හැකියාව ඉතා සීමිත වුවද, ඔවුන් වටා සිටි තරුණියන්ගේ අපේක්ෂා ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට නායකත්වය හිමිවීම පමණක්ම ප්‍රමාණවත් බව සමීක්ෂණ වාර්තාවේ කතුවරුන්ගේ නිගමනය විය.

Global Ranking for Women

තමන් සමීපයේ නොසිටියද, අනාගත පරපුරට බලාපොරොත්තු තැබිය හැකි ආදර්ශමත් චරිත පවා නායකත්වය සම්බන්ධයෙන් කාන්තාවන් දිරිමත් කිරීමට තුඩු දිය හැකි බව 2012 දී ස්විට්සර්ලන්තයේ පවත්වන ලද පර්යේෂණයකින් ද හෙළි වී තිබේ.

ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ගේ ඡායාරූප ඉදිරියේ දේශන පවත්වන මෙන් පර්යේෂකයෝ ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට ආරාධනා කළහ.

තවත් කණ්ඩායමක් බිල් ක්ලින්ටන්ගේ ඡායාරූපය ඉදිරියේ දේශන පැවැත්වූ අතර, කිසිදු ඡායාරූපයක් නොමැතිව දේශනයක් පවත්වන මෙන් සිවු වෙනි කණ්ඩායමට ආරාධනා කෙරිණ.

බිල් ක්ලින්ටන්ගේ ඡායාරූපය ඉදිරිපස සහ කිසිදු ඡායාරූපයක් නොමැති අවස්ථාවට වඩා අන්ගෙලා මර්කල් සහ හිලරි ක්ලින්ටන්ගේ ඡායාරූප ඉදිරියේ ශිෂ්‍යාවෝ ඉතා දීර්ඝ වේලාවක් දේශන පැවැත්වූහ.

එමතු නොව, සාර්ථක දේශපාලන නායිකාවන් ඉදිරියේ ශිෂ්‍යාවන්ගේ අදහස් දැක්වීම් ද අනෙක් අවස්ථාවලට සාපේක්ෂව ඉතා සාධනීය විය.

"දේශපාලන නායිකාවක් යනු සමානාත්මතාව පිළිබඳ තරුණ පරපුරේ ඉලක්කය පමණක් නොව, ඒ සඳහා තරුණියන් දිරිමත් කරන එන්ජිමද විය හැකි," බව සමීක්ෂණයේ කතුවරුන් සිය වාර්තාවේ සඳහන් කර තිබුණි.