ශ්‍රී ලංකාවේ කාන්තා පොලිස් සේවය ගැන මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, GETTY/ ISHARA S.KODIKARA
ශ්‍රී ලංකා පොලිසියට නිලධාරිනියන් අවශ්‍ය දැයි යන්න පිළිබඳ අත්හදා බැලීමක් ලෙසින් කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දී.
ඒ අනුව කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනකු බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර බීබීසී සංදේශයට පැවසීය.
"ඊට පස්සේ තව අවුරුද්දක්, හමාරක් යනකොට පොලිසියේ උසස් නිලධාරීන්ට හැඟී ගියා කාන්තාවන් පොලිසියට අනුයුක්ත කරගැනීම යෝග්‍යයි කියල," ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාන්තාවක් හෙබැවූ ඉහලම පදවිය එයයි.
"ඊට පස්සේ දැන් වගේ නෙවෙයි, බොහෝම සුළු වශයෙන් තමයි බඳවා ගැනීම කළේ. එක අවුරුද්දට හතර දෙනයි, පස් දෙනයි."
එලෙස බඳවා ගන්නා ලද පස් වැනි කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් 1958 දී ප්‍රමිලා දිවාකර කොස්තාප්ලවරිය පොලිස් සේවයට සම්බන්ධ වන විට ඇය සමඟ තවත් කාන්තාවන් දහ තුන් දෙනකුද බඳවාගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Premila Divakara
40 කට ආසන්න කාන්තාවන් පිරිසක් ඒ වනවිට පොලිස් සේවයට බඳවා ගෙන සිටි අතර, ඒ අතර සිටි කාන්තා පොලිස් සැරයන්වරු දෙදෙනා ඉහලම නිලය හෙබැවූ කාන්තාවෝ වූහ.
හැටේ දශකයේ මැද භාගය පමණ වන තුරු එසේ සුළු කණ්ඩායම් වශයෙන් බඳවා ගන්නා ලද පොලිස් කාන්තාවන් සියලු දෙනාම කොළඹ නගරය තුල රාජකාරිවල යොදවා තිබුණි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර පවසන පරිදි පොලිස් කාන්තාවන් විවිධ දිස්ත්‍රික්කවල මූලස්ථාන පොලිසිවල රාජකාරි සඳහා අනුයුක්ත කිරීම ආරම්භ කෙරුනේ හැටේ දශකයේ අග භාගයේදී හෝ හැත්තෑව දශකයේ මුලදීය.
"ඒගොල්ලන්ගේ සේවාව ඒ කාලේ නම් ඔය පිළිගැනීමේ නිලධාරි, උප සේවය, දුරකතන ක්‍රියාකරවන්නියන්, ඊට අමතරව පාසල් දරුවන්ට පාර මාරුවෙන්න, ජනාකීර්ණ ප්‍රදේශවල පදිකයන් හසුරුවන්න වගේ දේවලට තමා ඒ අයව යෙදෙවුවේ."
ප්‍රමාණවත් පොලිස් නිලධාරිනියන් පිරිසක් නොසිටීම හේතුවෙන් කොස්තාපල් ධුරයේ සිට සැරයන් ධුරය දක්වා උසස්වීමක් ලැබීම සඳහා වසර දහ තුනක් බලා සිටීමට ප්‍රමිලා දිවාකරටද සිදුවිය.
ඉන් අනතුරුව සුදුසුකම් සපිරූ පොලිස් කාන්තාවන්ට උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාවය හැත්තෑවේ දශකයේදී පොලිස් සුබසාධක සංගමය මාර්ගයෙන් එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායකට පෙන්වාදීමෙන් අනතුරුව ඇයට පොලිස් උප පරීක්ෂක ධුරය දක්වා උසස්වීමක් ලැබී තිබේ. ඒ 1977 දී.
"මමත් තව හේමා ගුණවර්ධනත්, චන්ද්‍රලතා හේරත් කියල අපි තුන් දෙනා තමයි සුදුසුකම් ලබපු නිලධාරිනියන් හිටියේ."
සැරයන් සහ උප පොලිස් පරීක්ෂක තනතුරුවලට ළඟාවීමට මුලදී ඉතා දුෂ්කර වුවත්, ඉන් අනතුරුව තමන්ට සියලු උසස්වීම් නිසි පරිදි ලැබුණු බවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර සඳහන් කළාය.
ශ්‍රී ලංකා කාන්තා පොලිස් සේවයේ අනුමත කාර්ය මණ්ඩලය (approved cadre) ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වනතුරුම කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති පදවිය දක්වා උසස්වීම් ලැබීමේ හැකියාවක් නැත.
ඒ අතර තමන්ට හිමි උසස්වීම් නොලැබුණු බව පවසමින් සහකාර පොලිස් අධිකාරිනියන් පිරිසක් අධිකරණයේ පිහිට පතා තිබේ.

සුදුසුකම් සහ දක්ෂතා සපුරා සිටින පොලිස් කාන්තාවන්ට නිසි උසස්වීම් ලැබීමට හැකි වන පරිදි කාන්තා සහ පුරුෂ පොලිස් සේවාවන් ඒකාබද්ධ කිරීමට හිටපු පොලිස්පතිවරුන් කිහිප දෙනකුම උත්සාහ දැරුවත් පොලිස් සේවය තුලින්ම එයට විරෝධය පළ වී ඇති බවත් පොලිස් කාන්තාවෝ පවසති.
ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාව 85,000 ක් පමණවන අතර, ඒ අතරින් 13,000 ක් පොලිස් කාන්තාවන් වන නමුත් මේ වනවිට පොලිස් කාන්තාවන් 3,000 කට ආසන්න පිරිසක් සඳහා පුරප්පාඩු පවතින බව ජාතික පොලිස් කොමිසම පවසයි.
(බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ:ලොවින් අඩක් ඔබ අමතයි'-100 Women- වැඩසටහන වෙනුවෙන්)












