උසස්වීම් නොලැබීම: පොලිස් කාන්තාවෝ 'කණස්සල්ලෙන්'

ඡායාරූප මූලාශ්‍රය, Premila Divakara
සිය සුදුසුකම් සහ ජ්‍යෙෂ්ඨත්වයට සරිලන උසස්වීම් නොලැබීම හේතුවෙන් පොලිස් කාන්තාවන් බරපතල කණස්සල්ලකින් පසුවන බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරිනිය පවසයි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමිලා දිවාකර ඒ බව සඳහන් කළේ සිය සේවයට සරිලන උසස්වීම් නොලැබීම සිය මානව හිමිකම් උල්ලංඝනයක් බව පවසමින් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසක් අධිකරණයේ පිහිට පැතීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
වසර අටක් එම තනතුර හොබවන රේණුකා ජයසුන්දර ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
දැනට සේවයේ නිරත කාන්තා සහකාර පොලිස් අධිකාරීවරුන් දස දෙනා පොලිස් අධිකාරී නිලය දක්වා උසස්වීම් ලැබීම සඳහා සියලු සුදුසුකම් සපුරා සිටින්නේය යන්න සිය විශ්වාසය බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමිලා දිවාකර සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.
"නමුත් නිලධාරිනියන් දෙන්නෙකුට විතරයි දැනට පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබිල තියෙන්නේ," ඇය පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)
මාතර කොට්ඨාශ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත වසර 12 ක් මුළුල්ලේ උසස්වීමක් නොලබා සිටින තවත් පොලිස් කාන්තාවක්. මේ වනවිට වැටලීම් 3000 කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවා තිබෙන පොලිස් පරීක්ෂක බෝගහවත්ත සිය සේවය වෙනුවෙන් බොහෝ සම්මානද ලබා සිටින්නියක්.
"ඒ අය මම හිතන්නේ බොහොම කණස්සල්ලෙන් ඉන්නේ. ඒ අයගේ අනාගත බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා විදියටයි මට පේන්නේ," විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමිලා දිවාකර සඳහන් කළාය.
පොලිස් නිලධාරිනියන්ට උසස්වීම් නොලැබීම සම්බන්ධ පැමිණිල්ල පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ, අදාළ ගැටලුව පිළිබඳව මේ සතියේ පොලිස් කොමිසම සාකච්ඡා කරන බවයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ නවසීලන්ත සංචාරයට එක්ව සිටින බැවින් ඔහු ඇමතීමට සංදේශය දැරූ උත්සාහයද සාර්ථක නොවීය.
පොලිස් නිලධාරිනියන්ටත් පොලිසියේ ඉහලම නිලයන් හෙබවීමට අවස්ථාව සැලසෙන පරිදි උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව පොලිස් කොමිසමේ ලේකම්වරයා මීට ඉහතදී සංදේශයට පැවසීය.

දැනට පවතින අනුමත කාර්ය මණ්ඩලය (Approved cadre) යටතේ පොලිස් කාන්තාවන්ට ලැබිය හැකි ඉහලම පදවිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය වුවත්, ඔවුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමට හැකි වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බවත් පොලිස් කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ නමුත් අතීතයේ පැවති ආකාරයට අනුමත කාර්ය මණ්ඩල දෙක එක් කාර්ය මණ්ඩලයක් බවට පත් කර තමන්ට හිමි උසස්වීම් ලබා දෙන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි, පොලිස් කාන්තාවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නිරත 85,000 ක් පමණ වන නිලධාරීන් අතරින් 13,000 ක් පොලිස් කාන්තාවන්.
ඒ අතරින් දැනට සේවයේ නිරතව සිටින්නේ 10,000 ක් පමණ බැවින් පොලිස් කාන්තාවන් 3000 ක් සඳහා පුරප්පාඩු පවතින බවත් පොලිස් කොමිසම පවසයි.









