රෝහින්ග්‍යා ජනයාට රැකවරණ රැගෙන පාප් වහන්සේ මියන්මාරයට

පාප් වහන්සේ සිය සතියේ දේශනයේ දී රෝහින්ග්‍යා ප්‍රජාව පිළිබඳව සඳහන් කළහ
ඡායාරූප ශීර්ෂ වැකිය, පාප් වහන්සේ සිය සතියේ දේශනයේ දී රෝහින්ග්‍යා ප්‍රජාව පිළිබඳව සඳහන් කළහ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබන නොවැම්බර් මාසයේ මියන්මාරයේ සංචාරයක නිරත වෙන බව නිවේදනය කරනු ලැබුණි.

එම සංචාරය ප්‍රකාශයට පත් කරනු ලැබුණේ මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව මුල්කර ගත් ව්‍යාකූලත්වය තවත් දුෂ්කර අතට හැරෙමින් පවතින මොහොතකයි.

පාප් වහන්සේ රෝමයේ දී සතිපතා පවත්වනු ලබන දේශනය ඊයේ ඉරිදා (අගෝස්තු 27) පැවැත්වුන අතර උන්වහන්සේ එම දේශනයේ දී රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරනු ලැබීම හෙළා දකිමින් අදහස් දැක්වූහ.

"රකායින්" ප්‍රාන්තයේ රෝහින්ග්‍යා කැරලිකරුවන් සහ මියන්මාර් යුද හමුදා අතර සිකුරාදා පටන් ගැටුම් වාර්තා වෙයි.

එම ගැටුම් නිසා සීයකට අධික ජීවිත විනාශයක් වාර්තා වී ඇති අතර තවත් දහස් ගණනක් ජනයා උන්හිටිතැන් අහිමිව සිටිති.

රකායින් පළාතේ මියන්මාර් පොලිස් මුර සංචාරයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, රකායින් පළාතේ මියන්මාර් පොලිස් මුර සංචාරයක්

ගැටුම්වල දී මරණයට පත්වූවන්ගෙන් වැඩි දෙනා රෝහින්ග්‍යා ප්‍රහාරකයන් බවත් වාර්තා වෙයි.

මියන්මාරයේ දී හිරිහැර වලට ගොදුරු වෙන රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාගේ ඉලක්කය අසල්වැසි බංග්ලාදේශයට පැන ගැනීමයි.

එහෙත් බංග්ලාදේශ් දේශ සීමා ආරක්ෂකයෝ ඔවුන් ආපසු හරවා මියන්මාරයට යවති.

එවැනි තත්වයක් යටතේ පාප් වහන්සේ සිය ආසියානු සංචාරයේ දී බංග්ලාදේශයටත් යාමට නියමිතයි.

පසුගිය සිකුරාදා ගැටුම් ආරම්භ වුණේ 'රෝහින්ග්‍යා' කැරලිකරුවන් මියන්මාර් පොලිස් මධ්‍යස්ථාන තිහකට පහර දීමත් සමඟයි.

එම ගැටුම් සෙනසුරාදාත් පැවතුණි.

මියන්මාරයේ දුප්පත්ම පළාතක් වන "රකායින්" ප්‍රාන්තයේ දශ ලක්ෂයකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ජීවත් වෙති.

රකායින් පළාතේ දස ලක්ෂයක් පමණ මුස්ලිම් ජනයා ජීවත් වෙති
ඡායාරූප ශීර්ෂ වැකිය, රකායින් පළාතේ දස ලක්ෂයක් පමණ මුස්ලිම් ජනයා ජීවත් වෙති

එරට බෞද්ධ බහුතර ප්‍රජාව විසින් රෝහින්ග්‍යා මුස්ලිමුන් දැඩි සීමාවන්ට යටත් කරන අතර දෙපාර්ශවය අතර වර්ෂ කීපයක් පටන් ගැටුම්කාරී තත්වයක් පවතී.

එම පීඩාව හමුවේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා දස දහස් ගණනක් කල්තබාම තමන් වාර්ගික හිංසාවන්ට ගොදුරු කෙරෙන බවට චෝදනා කරමින් බංග්ලාදේශයට ඇතුල් වී ඇත.

පවතින තත්වය රෝහින්ග්‍යා ප්‍රජාව අතර අන්තවාදය ලිය ලෑමට හේතු වෙන බව ආසියා -ශාන්තිකර කලාපයේ බීබීසී කර්තෘ මයිකල් බ්‍රිස්ටෝ (Michael Bristow) පෙන්වා දෙයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටින්නේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහි හිංසනය නතර කරන ලෙසයි.

දේශ සීමාව ඔස්සේ සිය භූමියට ඇතුල් වූ හැත්තෑවක් පමණ රෝහින්ග්‍යා ජාතිකයන් ආපසු මියන්මාරයට හරවා යවන ලද බව බංග්ලාදේශ් පොලිසිය පවසයි .

"ආපසු මියන්මාරයට යවන්න එපා කියල ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා" එක් පොලිස් භටයෙක් ප්‍රකාශ කළේය.

දෙදහසක පමණ 'රෝහින්ග්‍යා' පිරිසක් සිකුරාදා බංග්ලාදේශයට පිවිසෙමින් එක් ගම්මානයක පිහිටි කඳවුරුවල පිළිසරණ ලබා ගැනීමට සමත් වූ බව AFP පුවත් සේවය වාර්තා කරයි.

ආරක්ෂාව සොයා යන රෝහින්ග්‍යා ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂාව සොයා යන රෝහින්ග්‍යා ජනතාව

එම ජනතාව බිහිසුණු අත්දැකීම් ඇතුළත් කතන්දරත් රැගෙන පැමිණ සිටින බව තාවකාලික අනාථ කඳවුරක් අසල සිටි AFP පුවත් සේවයේ වාර්තාකරුවෙක් පවසයි.

"ඔවුන් අපේ ළඟටම ඇවිත් අපට වෙඩි තැබුවා. මට දැන් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ" හැත්තෑ හැවිරිදි මොහොමඩ් සෆාර් පවසයි.

සන්නද්ධ බෞද්ධ කණ්ඩායමක් කුඹුරක දී තම පුතුන් දෙදෙනකුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු කියා සිටියි.

"ඔවුන් පොලු මුගුරු වලින් සන්නද්ධ වෙලා ඇවිදින් අපි දේශ සීමාවෙන් මේ පැත්තට පන්නල දැම්මා" මොහොමඩ් සෆාර් වැඩි දුරටත් පවසයි.

"අනේ අපි බේරා ගන්න. අපට බංග්ලාදේශයේ ජීවත් වෙන්න ඕන. අපි මෙතැනින් ආපසු යැව්වොත් මරල දමාවි" හැට හැවිරිදි අමීර් හුසේන් ආයාචනය කළේය

මේ අතර "රකායින්" ප්‍රාන්තයේ ජීවත් වූ හාරදහසක් පමණ මුස්ලිම් නොවන ජනයා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ඉන් ඉවත් කර ගැනීමට මියන්මාර් යුද හමුදාව පියවර ගෙන ඇත.

අර්බුදය පවතින කලාපයේ දී මුස්ලිම් නොවන පුද්ගලයන් හය දෙනකු මරා දමා ඇති බවක් ද වාර්තා වෙයි.

මියන්මාරය රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සියරටේ ජන කොටසක් ලෙස පිළි නොගනිති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මියන්මාරය රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සියරටේ ජන කොටසක් ලෙස පිළි නොගනිති

මේ අතර පාප් වහන්සේ විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ දැක්වෙයි.

"සුළුතර ආගමික ප්‍රජාවක් වන අපේ රෝහින්ග්‍යා සහෝදරයන් හිංසනයට ලක් කරනු ලැබීම පිළිබඳ ශෝක ජනක වාර්තා ලැබෙමින් පවතිනවා"

"රෝහින්ග්‍යා ප්‍රජාව වෙනුවෙන් ඇති මගේ පූර්ණ හිතෛෂීභාවය පළ කරන්න මම කැමතියි. ඔවුන් ආරක්ෂා කරන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. ඔවුන්ගේ පූර්ණ අයිතිවාසිකම් ලබා දීම සඳහා ඔවුන්ට උදව් පිණිස පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ හොඳහිත සුහදතාවය දල්වා ලමු" ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටිති.