කටාර් අර්බුදය: ඩෝහා පාලනයෙන් අලුත් පියවරක්

This photo taken on 24 November, 2015 shows skyscrapers in the Qatari capital Doha.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ත්‍රස්තවාදයට සහාය දෙන බවට එල්ල කරන චෝදනා කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කරයි

සෞදිය ඇතුළු අරාබි රටවල් විසින් පනවන ලද වෙළඳ සම්බාධකවලට එරෙහිව කටාර් රාජ්‍යය ලෝක වෙළඳ සංවිධානයට (World Trade Organization) නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

කටාර්හි ආර්ථික සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂේක් අහ්මඩ් බින් ජසෙම් බින් මොහම්මද් අල් තානි කියා සිටියේ සෞදිය ඇතුළු අසල්වැසි රාජ්‍යයන් විසින් සිය රට වෙත වෙළඳ සම්බාධක පනවනු ලැබීම පැහැදිලි ලෙසම අන්තර්ජාතික වෙළඳ නීතිය උල්ලංඝනය කිරීමක් බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට දින 60 කාලයක් ලැබේ.

එම දින 60 තුළ එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලෝක වෙළඳ ආයතනය විසින් ඒ සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරනු ඇත.

line
line

අදාළ නිල පැමිණිල්ල සම්බන්ධයෙන් සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් මෙතෙක් ප්‍රතිචාර පල කර නොමැති නමුත් එම රටවල් මීට ඉහත දී ලෝක වෙළඳ ආයතනය වෙත දන්වා තිබුණේ සිය රටවල ජාතික ආරක්ෂාව හා සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් කටාර් වෙත සම්බාධක පැනවීමට ගත් තීන්දුව සාධාරණීකරණය කෙරෙනු ඇති බවය.

සිතියම

ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාර් සමග පැවති රාජ්‍යය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන කටාර් රාජ්‍යය සෞදිය ඇතුළු අරාබි රටවල් විසින් සම්බාධක ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කොන්දේසිවලට එකඟ නොවුණි.

line
line

සම්බාධක පැනවීමත් සමග කටාර් පුරවැසියන්ට සිය රටවලින් ඉවත්ව යාම සඳහා ඉහත කී අරාබි රටවල් දින 14 ක කාලයක් ලබා දුණි.

එමෙන්ම සිය රටේ පුරවැසියන්ට කටාර් වෙත යාම හෝ එහි වාසය කිරීම තහනම් කිරීමටත් එම රටවල් කටයුතු කළහ.

ගෘහ සේවය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊජිප්තුව ද කටාර් සමග පැවති රාජ්‍යය තාන්ත්‍රික සබඳතා අත්හිටවූ නමුත් එරට වෙසෙන 180,000 පමණ වූ කටාර් පුරවැසියන් සම්බන්ධයෙන් සීමා පැනවීමට ඔවුන් කටයුතු කර නොමැත.

යේමනය, මාලදිවයින සහ ලිබියානු ආණ්ඩුව ද එම ක්‍රියාමාර්ගය අනුගමනය කළහ.

ඊට අමතරව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් විසින් කටාර් ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා දමනු ලැබීය.

line
line

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]