කටාර් අර්බුදය: ඩෝහා වෙත ගුවනින් කිරි ගවයන්

Cows

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කටාර් සහ අසල්වැසි සෞදිය ඇතුළු අරාබි රටවල් අතර මතුවූ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් එලෙසම පවතී.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් විසින් කටාර් රාජ්‍යය වෙත සිය ගොඩබිම්, මුහුදු සහ ගුවන් දේශ සීමා වසා දමනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.

ඉහත කී අරාබි රටවල් විසින් එළෙස සම්බාධක පනවනු ලැබීමත් සමග කිරි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කටාර් රාජ්‍යය වෙත ගුවනින් එළ ගවයන් ප්‍රවාහනය කෙරිණි.

කටාර් වෙත එළ ගවයන් 4,000 ක් ආනයනය කිරීමට නියමිත අතර ජර්මනියේ සිට එළ ගවයන් 165 දෙනෙකු ගුවනින් ප්‍රවාහනය කෙරුණේ එහි පළමු කාණ්ඩය ලෙසය.

line
line

ලක්ෂ 27 ක ජනගහනයක් වෙසෙන කටාර් රාජ්‍යය භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන අතර සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි අර්බුදකාරී වාතාවරණයක් ඇති විය හැකි බවට බිය පළ විය.

සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමත් සමග කටාර් රාජ්‍යයට එරෙහිව අලුතින් ක්‍රියාමාර්ග ගන්නා බවට සෞදිය ප්‍රමුඛ සෙසු රටවල් අනතුරු ඇඟවූහ.

කටාර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හංගේරියාවේ බුඩපෙස්ට් නුවර හරහා දෙනුන් ඇතුළු එළ ගවයන් රැගෙන ආවේ කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් යොදා ගනිමිනි.

ආනයනය කිරීමට නියමිත මුළු ගවයන් ප්‍රමාණය රැගෙන ආ පසු රටේ කිරි නිෂ්පාදන අවශ්‍යතාවෙන් 30% සපුරා ගත හැකි බව ගවයන්ගේ හිමිකාරිත්වය දරන පවර් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් ඉහත කී රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අත්හිටුවීමට පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ.

කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

line
line

කටාර් රාජ්‍යය හා සම්බන්ධ එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි.

ඒ වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට තුර්කිය සහ ඉරානය ඉදිරිපත්ව සිටිති.

US Secretary of State Rex Tillerson (L) and Qatari Minister of Foreign Affairs Sheikh Mohammed bin Abdul Rahman Al Thani (R) sign a memorandum of understanding in Doha, Qatar (11 July 2017)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි

මේ අතර ත්‍රස්තවාදයට මූල්‍යාධාර ලබා දීම මැඩලීමේ උත්සාහයක් වශයෙන් එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍ය ගිවිසුමකට අත්සන් තැබූහ.

කටාර්හි නිල සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් හා කටාර්හි විදේශ අමාත්‍යවරයා අතර ඒ සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබුණේ ඩෝහා අගනුවරදීය.

අඟහරුවාදා (ජුලි 11) අත්සන් තැබූ ඉහත කී ගිවිසුම "ප්‍රමාණවත් නොමැති" බව සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් පවසති.

line
line

මීට පෙර අත්සන් තබන ලද ගිවිසුම් උපුටා දක්වමින් එම රටවල් කියා සිටියේ කටාර් රාජ්‍යය කෙරෙහි "විශ්වාසය තැබිය නොහැකි" බවය.

කෙසේ නමුත් අර්බුදය විසඳා ගැනීම සඳහා නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සූදානම් බව කටාර්හි විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි පසුගියදා කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයන්

කටාර්

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

මාස ගණනාවකට අවශ්‍ය තරම් ආහාර සංචිත තමන් සතු බව කටාර් බලධාරීන් එහි වෙසෙන තානාපතිවරුන්ට දන්වා ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා සඳහන් කළේය.

කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]