කටාර් අර්බුදය: සම්බාධක තවදුරටත්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර මතුව පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් එලෙසෙම පවතී.
කටාර් රාජ්‍ය විසින් අසල්වැසි මැදපෙරදිග රටවල යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ඒ වෙත පනවා තිබූ සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව සෞදි අරාබිය පැවසීය.
ඩෝහා පාලනය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කයිරෝ අගනුවරට රැස් වූ අරාබි රටවල් හතරක විදේශ අමාත්‍යවරුන් කියා සිටියේ ඒ පිළිබඳ කටාර් රාජ්‍යයෙන් පළ වූ නිෂේධනීය ප්‍රතිචාරය පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවය.
කටාර් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජුනි මස ආරම්භයේ දී කටයුතු කළහ.
ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට ඉහත කී රටවල් කටාර් වෙත චෝදනා කරන අතර එරට ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මූලික වෙනස්කම් සිදු කරන ලෙස ඉල්ලා සිටිති.


මතුව ඇති අර්බුදකාරී වාතාවරණයේ "බරපතළභාවය" කටාර් රාජ්‍ය තේරුම් ගෙන නොමැති බව රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ පවසති.
'තවදුරටත් ක්‍රියාමාර්ග'

සෞදි අරාබියේ විදේශ ඇමතිවරයා කියා සිටියේ නිසි වෙලාවේ දී කටාර් රාජ්‍යයට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගනු ඇති බවය.
අන්තර්ජාතික නීති අනුව එම පියවර ගනු ඇති බවත් ඔහු පැවසීය.
"අප මේ දේ කරන්නේ කටාර් රාජ්‍යයට රිදවන්න නොවෙයි. කටාර් වෙත උදව් කරන්නයි අප මේ දේ කරන්නේ" යනුවෙන් සෞදි අරාබියේ විදේශ ඇමති අදෙල් බින් අහමඩ් අල්-ජුබෙයිර් කියා සිටියේය.


අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු ඉල්ලීම් 13 ක් ඉටු කිරීම සඳහා සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍ය වෙත ඉරිදා (ජුලි 02) වන තෙක් කල් ලබා දී තිබිණි.
ඉල්ලීම් ඉටු කිරීම සඳහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට එම රටවල් පසුගිය සඳුදා (ජුලි 03) පියවර ගත්හ.
ඉහත කී කාල සීමාව තුළ සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් කටාර් රාජ්‍යය වෙත තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බවට ඔවුහු අනතුරු ඇඟවූහ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
කටාර් රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 27 කි. භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන කටාර් රාජ්‍ය වෙත සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.
කටාර් රාජ්‍යය හා සම්බන්ධ වන එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි.
ශ්‍රී ලාංකිකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.
කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
ඊමේල් : [email protected]














