කටාර් අර්බුදය: "අරාබි රටවල කොන්දේසි ඉටු කිරීම අපහසුයි"

Border crossing with Saudi Arabia

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දින ගණනාවක සිට වසා දමා ඇති කටාර් සහ සෞදි අරාබිය අතර දේශ සීමා පිවිසුම්

සම්බාධක ඉවත් කිරීම සඳහා අරාබි රටවල් හතරක් විසින් කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ඉල්ලීම් "ඉටු කිරීමට අපහසු" වනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

එහෙත් එම යෝජනා මගින් විසඳුමක් සඳහා මග පෑදිය හැකි සංවාදයකට මුලපිරිය හැකි බව ඔහු කියා සිටී.

සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් ඉදිරිපත් කළ කොන්දේසි 13 ක් කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා විසින් සෙනසුරාදා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් එල්ල කරන චෝදනා කටාර් රාජ්‍ය ප්‍රතික්ෂේප කරයි.

line
line

කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය අතර මතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සති දෙකකට වැඩි කාලයක් පුරා පවතින අතර ඉරානය සහ තුර්කිය කටාර් වෙත ආහාර සහ වෙනත් භාණ්ඩ සපයමින් සිටිති.

ඇමරිකාවේ ප්‍රතිචාරය

Qatar skyline, 9 June

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඉරානය සමග පවත්වන සබඳතා අඩු කරන ලෙස සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම කටාර්හි පිහිටි තුර්කි හමුදා කඳවුර වසා දමන ලෙස ඉල්ලා සිටින ඉහත කී අරාබි රටවල් සිය කොන්දේසි ඉටු කිරීම සඳහා දින දහයක කාලයක් පසුගිය සිකුරාදා ලබාදුණි.

කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කොන්දේසි අතරට එරට ආණ්ඩුවේ අරමුදල් මත පවත්වා ගෙන යනු ලබන අල් ජසීරා රූපවාහිනී සේවය වසා දැමීමත් ඇතුළත් වේ.

line
line

කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම රටවලින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය.

ඉහත කී අරාබි රටවල් විසින් පසුගිය සිකුරාදා කටාර් වෙත කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධවල මන්දිරයේ ප්‍රකාශක සීන් ස්පයිසර් විසින් අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හඳුන්වනු ලැබුවේ "පවුලේ ප්‍රශ්නයක්" ලෙසය.

ඒ හේතුවෙන් එම රටවල් එක්ව ඊට විසඳුම් සෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

කටාර් රාජ්‍ය සම්බන්ධයෙන් දැඩි මතයක් පළ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෝහා පාලනය ත්‍රස්තවාදයට ඉහළ මට්ටමින් අනුග්‍රහය ලබා දෙන බවට චෝදනා කළේය.

අල් ජසීරා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෙසේ නමුත් කටාර් සහ සෙසු අරාබි රටවල් ඇමරිකාවේ සමීප මිතුරු රාජ්‍යන් වන අතර එක්සත් ජනපදයට අයත් මැදපෙරදිග පිහිටි විශාලතම හමුදා කඳවුර පිහිටා ඇත්තේ ද කටාර් රාජ්‍ය තුළය.

කටාර් වෙත ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ සෞදි අරාබිය ඔස්සේ ගොඩබිම් මාර්ගයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මුහුදු මාර්ගයෙනි.

line
line

අර්බුදය හමුවේ එම මාර්ග වසා දමා ඇති අතර කටාර් වෙත සිය ගුවන් කලාපය වසා දැමීමටත් එම රටවල් කටයුතු කළහ.

ආර්ථික වශයෙන් කඩා වැටීමකට නොගොස් විකල්ප මාර්ග ඔස්සේ සිය අවශ්‍යතා සපුරා ගැනීමට යොමුව සිටින කටාර් රාජ්‍ය කුඩා වුවත් ධනවත් රටකි.

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

ශ්‍රී ලාංකිකයන් සහ සැපයුම්

කටාර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

BBC සිංහල ෆෙස්බුක් අඩවිය ඔස්සේ අදහස් දක්වමින් එරට සේවයේ නිරත ඇතැම් ශ්‍රී ලාංකිකයන් කියා සිටියේ අර්බුදකාරී වාතාවරණය හමුවේ එරට වෙළඳසල් තුළ කිරි නිෂ්පාදනවල අඩුවක් පවතින බවය.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පලතුරු සහ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පවසති.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය.

line
line

අර්බුදය විසඳා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමේ උත්සාහයක නිරතව සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා කියා සිටියේ කටාර් රාජ්‍ය අදාළ කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වුවහොත් සෙසු අරාබි රටවල් ඉන් වෙන් විය හැකි බවය.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]