අගමැති ට්රූඩෝ 'පුංචි ට්රූඩෝ' හමුවෙයි

අගමැතිවරයාගේ ළය මත 'පුංචි ට්රූඩෝ' සුව නින්දක

ඡායාරූප මූලාශ්‍රය, ADAM SCOTTI/TWITTER

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිවරයාගේ ළය මත 'පුංචි ට්රූඩෝ' සුව නින්දක

සිරියානු සරණාගත යුවලකට දාව උපන් බිළිඳා 'ජස්ටින් ට්රූඩෝ' ලෙසින් නම්කිරීමට දෙමාපියන් තීරණය කළේ කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝට සිය කෘතඥතාව පළකිරීමටය.

ඒ සිරියානු සරණාගතයන් තම රටට භාරගැනීමට කැනඩාවේ අගමැතිවරයා තීරණය කිරීම වෙනුවෙනි.

මේවනවිට මාස දෙකහමාරක් වයසැති මෙම 'පුංචි ට්රූඩෝ' හමුවීමට කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ කැල්ගරි නගරයට පැමිණියේය.

අගමැතිවරයා විසින් මෙම බිළිඳා තම තුරුළට ගන්නා ලද අතර ඒ මොහොතේ 'පුංචි ට්රූඩෝ' අගමැතිවරයාගේ ළය මත සුව නින්දකට වැටුණි.

සිරියානු යුද්ධයෙන් දිවි බේරා ගැනීම සඳහා බිලාන් තම වැඩිමල් දරු දෙදෙනා සහ සිය ගැබිණි බිරිඳ සමඟ කැනඩාවට පැමිණියේ පසුගිය පෙබරවාරියේදී ය.

සෙසු සිරියානු සරණාගතයන් පිළිගැනීම සඳහා කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ ගුවන් තොටුපල වෙත පැමිණියත් බිලාන් යුවල පිළිගැනීම සඳහා ඔහු එහි නොසිටියේය.

නමුත් කුමන හෝ ආකාරයකින් අගමැති ට්රූඩෝ වෙත ස්තුති කිරීමට බිලාන් යුවල එදින අදිටන් කර ගත්හ.

දමස්කස් නගරයේ කරණවෑමියෙකු ලෙස සේවය කළ මුහම්මද් ගේ දැන් වයස අවුරුදු විසි නවයකි

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/MUHAMMAD BILAN

ඡායාරූප ශීර්ෂ වැකිය, දමස්කස් නගරයේ කරණවෑමියෙකු ලෙස සේවය කළ මුහම්මද් ගේ දැන් වයස අවුරුදු විසි නවයකි

පසුගිය මැයි මාසයේදී සිය පවුලට අලුතින් එක් වූ අමුත්තාට 'ජස්ටින් ට්රූඩෝ' ලෙස නම් තැබීමට බිලාන් යුවල කටයුතු කරන්නේ ඒ අනුවය.

"ඔහු අපිට ගොඩක් උදව් කළා. අපිව කැනඩාවට ගෙන ආවට මෙය ඔබට කරන කුඩා ස්තුතියක්. ඔබටත්, සියලුම කැනේඩියානුවන්ටත් ස්තුති කිරීමට අපට අවශ්‍යයි" යනුවෙන් බිලාන්ගේ බිරිඳ ඒ මොහොතේ ප්‍රකාශ කළාය.

කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ

ජස්ටින් ට්රූඩෝ කැනඩාවේ අගමැති ධුරයට පත් වීමෙන් අනතුරුව 2015 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ ජනවාරි දක්වා සිරියානු සරණාගතයන් හතළිස් දහසකට අධික පිරිසක් කැනඩාවේ යළි පදිංචි වී තිබේ.

පසුගිය ජනවාරි මාසයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් විධායක නියෝගයකට අත්සන් තැබීය.

එවක අදහස් දක්වමින් කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ කියා සිටියේ "වධහිංසා, ත්‍රස්ත සහ යුද බිය දැනෙන පුද්ගලයන්ට" ආධාර කිරීම සඳහා සිය ආණ්ඩුවේ වන කැපවීම තවදුරටත් එලෙසෙම පවතිනු ඇති බවය.