G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර

කලින් පැවති G 20 සමුළුවකට පෙර දියත් වූ මහජන විරෝධතා ව්‍යාපාරයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කලින් පැවති G 20 සමුළුවකට පෙර දියත් වූ මහජන විරෝධතා ව්‍යාපාරයක්

දියුණු කාර්මික රටවල නායකයන් සහභාගී වෙන G 20 සමුළුව ජර්මනියේ 'හැම්බර්ග්' නගරයේ මුළු දීමට නියමිතව තිබිය දී දහස් ගණනක් ජනතාව විරෝධතා ව්‍යාපාර ආරම්භ කළහ.

ලෝක වෙළෙඳ රටාවේ වෙනසක් සිදු කරන මෙන් ඉල්ලා සිටිමින් අද (ජූලි 02) දියත් වූ උද්ඝෝෂණයට අඩුතරමින් අටදහසක පමණ ජනතාව සගභාගී වෙමින් සිටි බව වාර්තා වෙයි.

දුප්පත්කම පිටු දැකීමට මෙන්ම ලෝක දේශගුණ විපර්යාසය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් එම විරෝධතාවාදීහු G 20 නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

සමුළුව ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ලබන සිකුරාදායි.

සමුළුව ආරම්භ වීමට පෙර සහ පසුව පැවැත්වීම සඳහා විරෝධතා ව්‍යාපාර ගණනාවක් සංවිධානය කර ඇති අතර අද (ජූලි 02) දියත් කෙරුණේ එහි පළමුවැන්නයි.

2016 චීනයේ පැවැත්වූ G 20 සමුළුවට සහභාගී වූ ලෝක නායකයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 චීනයේ පැවැත්වූ G 20 සමුළුවට සහභාගී වූ ලෝක නායකයන්

තිරසාර සංවර්ධනය ඇතුළත් වැඩ පිළිවෙලක් කෙරෙහි මෙවර සමුළුවේ දී අවධානය යොමු කරන බවට ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් (Chancellor Angela Merkel )ප්‍රතිඥාවක් දී ඇත.

ලෝක දේශගුණ විපර්යාසයන් පාලනය කර ගැනීම පිළිබඳ මාතෘකාව ඇතුළු තවත් කරුණු ගණනාවක් මෙවර G 20 සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙන බව වාර්තා වෙයි.