ට්‍රම්ප් වතිකානයේදී පාප් වහන්සේ හමුවෙයි

විදෙස් සංචාරයක යෙදී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වතිකානයේ දී ෆ්රාන්සිස් පාප් වහන්සේ හමුවෙයි.

මෙම හමුවට ජනාධිපති ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සමඟ දියණිය ඉවන්කා සහ ඇයගේ ස්වාමි පුරුෂයා ද සහභාගී විය.

පාප් වහන්සේ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 20ක පමණ පෞද්ගලික සාකච්ඡාවක නිරත වූ අතර ඉන් පසුව සියලු දෙනා එක්ව ඡායාරූපවලට පෙනී සිටියහ.

සංක්‍රමණිකයන් සහ කාලගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ගේ පිළිවෙත ෆ්රාන්සිස් පාප් වහන්සේගේ විවේචනයට ලක් වී තිබුණි.

පාප් වහන්සේ හමුවීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප්, ඉතාලියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමට නියමිතය.

ඉන් අනතුරුව නේටෝ සමුළුවට සහභාගිවීම සඳහා ඔහු බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යනු ඇත.

ජනාධිපති ට්‍රම්ප් ඉතාලියට පැමිණියේ තම මැදපෙරදිග සංචාරය නිම කිරීමෙන් පසුව ය.

සෞදි අරාබියෙන් පිටත් වී ඊශ්‍රායලයට සහ පලස්තීනයට පැමිණි ජනාධිපතිවරයා සාමය උදාකර ගැනීම සඳහා තම සහාය ලබාදෙන බවට එහිදී ප්‍රතිඥාවක් දුන්නේය.

නමුත් ඔහුගේ පලස්තීන සංචාරයට එරෙහිව ගාසා තීරයේ සහ බටහිර තීරයේ විරෝධතා දියත් විය.