ට්‍රම්ප් මුස්ලිම්වරු අමතයි: "අන්තවාදීන් පලවාහරින්න"

"ඔවුන් මේ මහ පොළොවෙන් පලවාහරින්න"

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔවුන් මේ මහ පොළොවෙන් පලවාහරින්න"

මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙනයන සටනට නායකත්වය ලබාදෙන මෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රාජ්‍යයන්ගෙන් බලවත් ඉල්ලීමක් කරයි.

"ඔවුන් මේ මහ පොළොවෙන් පලවාහරින්න" යැයි ජනාධිපති ට්‍රම්ප් ඉල්ලා සිටියේ රියාද් නුවරදී කලාපීය සමුළුවක් අමතමිනි.

මෙහිදී ඉරානය දෝෂදර්ශනයට ලක්කරමින් කතා කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ කලාපය අස්ථාවරවීමට ඉරානයේ ක්‍රියා පිළිවෙත හේතුවී ඇති බවය. ඉරානය, සෞදි අරාබියට එදිරිවාදී රාජ්‍යයකි.

"යහපත සහ නපුර" අතර සටනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, "යහපත සහ නපුර" අතර සටනක්

අන්තවාදයට එරෙහි සටන විවිධ ආගම් අතර සටනක් නොවන බවත් එය "යහපත සහ නපුර" අතර සටනක් බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මුස්ලිම් රාජ්‍ය නායකයන් ඉදිරියේ ප්‍රකාශ කළේය.

"වඩා යහපත් අනාගතයක් උදාකරගත හැකි වන්නේ ඔබලා ත්‍රස්තවාදීන් පලවා හැරියොත් පමණයි. ඒ වගේම අන්තවාදීන් ද පලවා හරින්න." යැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

එම කාර්යය සපුරා ගැනීම සඳහා "ඇමරිකානු බලය" යොදවනතුරු බලා නොසිටිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම නිල විදේශ සංචාරය යි.

දින අටක නිල සංචාරය ඇතුළත ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බ්‍රසල්ස් නුවර මෙන්ම වතිකානය සහ සිසිලි නගරයට ද යාමට නියමිතය.