ගල්මුල් අතරින් ධවල මන්දිරයට යන ට්‍රම්ප්

ට්‍රම්ප්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කාලයේ නිව්යෝර්ක් නගරයේදී හැදීවැඩුනේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ සිව් වැනි පුතු ලෙසටය

ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට පෙර සිට ම ඇමෙරිකාවේ වඩාත් ම ප්‍රසිද්ධියට පත්වූ, සෑම අතින් ම කැපී පෙනුණු ධනවතා විය.

දැන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරීපත්වී සිටී.

ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වයට විවේචන එල්ලවූයේ සංක්‍රමණිකයන් පිලිබඳ ඔහු දරූ මතභේදාත්මක ස්ථාවරය සහ ප්‍රකෝපකාරී ප්‍රචාරක වැඩපිළිවෙළ නිසාම පමණක් නොවේ.

ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අතීතය පිලිබඳ තොරතුරුද එයට හේතුවක් විය.

ට්‍රම්ප්
ඡායාරූප ශීර්ෂ වැකිය, වමේ ඡායාරුපය: 1986 දී ට්‍රම්ප් තම පවුලේ සාමාජිකයන් සමග / දකුණේ ඡායාරුපය: 1976 දී තම ව්‍යාපාරය අරඹමින්

නමුත් වයස අවුරුදු හැත්තෑවක් වන ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂත්වය සඳහාවූ ප්‍රථමික ඡන්ද විමසීම්වලදී වඩාත් පළපුරුදු දේශපාලනඥයන් අභිබවා ඉදිරියට පැමිණියේය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් තවත් පියවරක් ඉදිරියට පැමිණ සිටින ට්‍රම්ප් තම ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන්ට එරෙහිව දේශපාලන ඉතිහාසය තුළ වඩාත් මතභේදාත්මක මෙන්ම බෙදීම් ඇතිකරවූ ඡන්දවිමසීමට මුහුණ දුන්නේය.

ට්‍රම්ප්
ඡායාරූප ශීර්ෂ වැකිය, වමේ ඡායාරුපය: ට්‍රම්ප් තම ප්‍රථම බිරිඳ සමග / දකුණේ ඡායාරුපය: යුද හමුදා පාසැලේ දී

ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කාලයේ නිව්යෝර්ක් නගරයේදී හැදී වැඩුනේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ සිව් වැනි පුතු ලෙසටය. ධනවත් පවුලක ඉපදුනද තම පියාගේ සමාගමක ඉතා පහළ මට්ටමේ රැකියාවක් කල ඔහු වයස අවුරුදු 13 දී යුද හමුදා අභ්‍යාස ආයතනයකට යැවුණේ පාසලේදී විනය විරෝධී කටයුතුවල යෙදීම හේතුවෙනි.

වොර්ටන් පාසලෙන් සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සම්පුර්ණ කළ ට්‍රම්ප් පියාගේ ඇවෑමෙන් ඔහුගේ ව්‍යාපාර පාලනයට යොමුවිය. ඒ සඳහා ඔහුට අවස්ථාව සැලසුනේ වැඩිමහල් සොහොයුරු ෆ්‍රෙඩ් ගුවන් නියමු වෘත්තීය තෝරාගැනීම හේතුවෙනි. මත්පැනට ඇබ්බැහිවීම හේතුවෙන් වයස අවුරුදු 43 දී ෆ්‍රෙඩ් ට්‍රම්ප් ජීවිතක්‍ෂයට පත්විය.

Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට ඩොලර් මිලියනයක 'කුඩා' ණයක් තම පියාගෙන් ලබාගෙන නිවාස තැනීමේ ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණි ඔහු තම පියාගේ කීර්තිනාමය උපයෝගී කරගනිමින් නිව්යෝර්ක් නගරයේ බල ප්‍රදේශ තුළ සාර්ථකත්වයට පත්විය. අනතුරුව පියාගේ ව්‍යාපාරය සියතට ගත් ට්‍රම්ප් 1971 දී එහි නම 'ට්‍රම්ප් සංවිධානය' නමින් වෙනස් කළේය. 1999 දී මිය ගිය පියා තම ජීවිතයේ පරමාදර්ශී චරිතය වූ බව ඔහු පවසයි.

ට්‍රම්ප් තම පවුලේ ව්‍යාපාරය බෘෘක්ලීන් සහ ක්වීන්ස් හි නිවාස සංකීර්ණවල සිට මෑන්හැටන් ප්‍රදේශය දක්වා රැගෙන ගියේය. මෑන්හැටන් හි කොමදෝර් හෝටලය ග්‍රෑන්ඩ් හියත් නම් සුප්‍රසිද්ධ ව්‍යාපාරයක් බවට පත්කළ ඔහු පස්වැනි වීදියේ මහල් 68 කින් යුතු 'ට්‍රම්ප් කුළුණ' නිම කළේය. ඉන්පසු ට්‍රම්ප් ප්ලේස්, ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්, ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හොටෙල් ආදී ගොඩනැගිලි නිමකරමින් ක්‍රමයෙන් සාර්ථකත්වයේ හිනිපෙත්තටම පා තැබීමට ඔහුට හැකිවිය. අද වන විට ඉන්දියාවේ මුම්බායි, තුර්කියේ ඉස්තාන්බුල් යන නගරවල මෙන්ම පිලිපීනයේ ද 'ට්‍රම්ප් ටවර්' නමින් ගොඩනැගිලි දක්නට ලැබේ. එහෙත් ඔහු තම ව්‍යාපාර කැසිනෝ සහ හෝටල් ව්‍යාපාර දක්වා ව්‍යාප්ත කරද්දී සිව් වතාවක්ම බංකොලොත්භාවයට පත්වූ අයෙකි.

Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ඇමරිකාව තුළ කවුරුත් දන්නා චරිතයක් බවට පත්වුයේ ඇමරිකානු රූපවාහිනියේ 'ද ඇප්‍රන්ටිස්' වැඩසටහන ඔස්සේය

ප්‍රසාංගික කලා ව්‍යාපාරය තුළ ද ට්‍රම්ප් තම අධිරාජ්‍යය ගොඩනගාගෙන තිබේ. 1996 සිට 2015 දක්වා රූ රැජින තේරීමේ 'මිස් යුනිවර්ස්', 'මිස් යූ එස් ඒ', 'මිස් ටීන් යූ එස් ඒ බියුටි පෙජනට්ස්' ආයතනයන්හි හිමිකරුවා විය.

2003 වසරේ දී NBC රූපවාහිනියේ 'ද ඇප්‍රන්ටිස්' රියලිටි වැඩසටහනින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ට්‍රම්ප් වැඩසටහන් 'සීසන්' 14 සඳහා සහභාගීවිය. ඒ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 213ක් එම ආයතන විසින් ගෙවනු ලැබූ බව සඳහන් වේ.

ග්‍රන්ථ කිහිපයක්ද රචනාකර ඇති ට්‍රම්ප් වතුර බෝතලයේ සිට ඇඳුම් දක්වා වූ සියලු ආකාරයේ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නෙකි. ෆොර්බ්ස් සඟරාවට අනුව ට්‍රම්ප්ගේ වර්තමාන දේපළවල වටිනාකම ඩොලර් බිලියන 3.7 ක් වුව ද ට්‍රම්ප් නිරතුරුව පවසන්නේ එය ඩොලර් බිලියන 10 ක් බවය.

Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් තම බිරිඳ සහ දරුවන් සමග

තුන් වතාවක් විවාහ වී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වඩාත් ප්‍රසිද්ධියටපත් බිරිඳ වුයේ චෙච්නියානු ජාතික ක්‍රීඩිකාවක සහ නිරූපන ශිල්පිනියක වූ ඉවානා සෙලනිකොවාය. ඔවුනට දරුවන් තිදෙනෙකු සිටින අතර 1990 දී එම විවාහය බිඳී ගියේය. ඉන්පසු 1993 දී නිලියක්වූ මාර්ලා මේපල් සමග විවාහයෙන් දියණියක් ලැබුණු අතර 1999 දී එම විවාහයද දික්කසාදයකින් කෙළවර විය. ඔහුගේ වර්තමාන බිරිඳ වන්නේ නිරූපිකාවක වන මෙලනියා නවුස්ය. 2005 වසරේ දී විවාහවූ ට්‍රම්ප් සහ මෙලනියාට දරුවන් තිදෙනෙකි.

ඔහුගේ පළමු විවාහයේ දරුවන් 'ට්‍රම්ප් සංවිධානයේ' ව්‍යාපාරික කටයුතු ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ මෙහෙයවමින් සිටිති.