ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියේ

සිය පළමු නිල සංචාරය අරඹමින් ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියට ලඟා විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පළමු නිල සංචාරය අරඹමින් ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියට ලඟා විය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් ආරම්භ කරමින් සෞදි අරාබියට ලඟා විය.

පදවියට පත්වීමෙන් අනතුරුව ඔහු සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.

රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සැපත් ඇමෙරිකානු නායකයා සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් පිළිගන්නා ලද්දේ සෞදි අරාබියේ සල්මන් රජතුමා විසිනි.

සෞදි රජ මාළිගය බලා පිටත්ව යාමට පෙර රාජ්‍ය නායකයන් දෙදෙනා ගුවන් තොටුපොළේ දී කෙටි සාකච්ඡාවක නිරත වුහ.

හෙට ඉරිදා (මැයි 21) රියාද් අගනුවර මුළුදෙන සමුළුවක දී ජනාධිපති ට්‍රම්ප් හතළිහකට අධික මුස්ලිම් රාජ්‍ය නායකයන් අමතා කතා කිරීමට නියමිතයි.

අන්තවාදී සංවිධාන වලට එරෙහි සටන එම සමුළුවේ ප්‍රධාන මාතෘකාව වනු ඇතැයි සැලකෙයි.

සෞදි අරාබියේ සල්මන් රජතුමා
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබියේ සල්මන් රජතුමා

ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය සංචාරයේ දී ඩොලර් කෝටි දහස් ගණනක් ආවරණය කෙරෙන වාණිජ ගිවිසුම් කීපයකට ද අත්සන් තබනු ඇත.

මේ සංචාරය ආරම්භ කෙරුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ඔහුගේ සංවිධායක මණ්ඩලය සහ රුසියාව අතර සබඳතා පැවතුණ බවට එල්ල වෙමින් ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පෙරට යමින් ඇති අතරයි.