ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්

ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි දළඹුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, CÉSAR HERNÁNDEZ/CSIC

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි දළඹුවෙක්

ඉවත දමන ප්ලාස්ටික් වලින් ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට ඇති විසඳුම කුමක්ද යන පැනයට පිළිතුර ඒවා ආහාරයට ගන්නා දළඹු වර්ගයක් විය හැකි බව විද්‍යාඥයෝ පවසති.

සලබයන් බවට පරිවර්තනය වන දළඹු විශේෂ මී ඉටි ආහාරයට ගනු ලබන අතර එම දළඹු විශේෂයට ප්ලාස්ටික් ආහාරයට ගෙන දිරවීමේ හැකියාව පවතින බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයක් මෙහෙය වූ විද්‍යාඥයන් කණ්ඩායමක්පෙන්වා දෙති.

මී ඉටි ආහාරයට ගන්නා දළඹු විශේෂයන්ගේ ආහාර ජීරණ පද්ධතියට ප්ලාස්ටික් වල රසායනික සංඝටක වෙන් කිරීමේ හැකියාවක් ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

ලෝකයේ වසරකට ටොන් කෝටි අටකට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙයි.

'ෂොපින් බෑග්' සහ අහාර වර්ග ඇසිරීමට ගන්නා පොලිතින් වර්ග සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට වසර සියයක පමණ කාලයක් ගත වේ.

ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි දළඹුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, CSIC COMMUNICATIONS DEPARTMENT

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි දළඹුවෙක්

කෙසේ වෙතත් පැයක කාලයක් ඇතුළත ආහාරයට ගන්නා ප්ලාස්ටික් කොටස් ජීර්ණය කිරීමේ හැකියාව දළඹුවකු සතු බව නව පර්යේෂණ දත්ත මගින් පැවසෙයි.

"මෙම දළඹු විශේෂයට ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි බව හඳුනා ගැනීම අපේ පළමු පියවරයි. නමුත් අපි අධ්‍යනය කළ යුතුයි - කුමන තත්ත්ව යටතේ ද මේ ක්‍රියාවලිය නිසි අයුරින් සිද්ධ වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා - ඉවත දමන ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර දුෂණය අවම කර ගැනීමට මේ දළඹුවන් මගින් පිළිතුරක් සොයා ගන්න" කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය පවුලෝ බොම්බෙල්ලි සිය පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියි.

සෑම වසරකම ලෝකයේ ටොන් මිලියන අසූවකට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම වසරකම ලෝකයේ ටොන් මිලියන අසූවකට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙයි.

ජෛවරසායන විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ ඔහුට සහය දුන් ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ සහ සමීක්ෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ඉහත කී විද්‍යාත්මක සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.

ප්ලාස්ටික් ජීර්ණය කරන එම දළඹුවන්ගේ ආහාර ජීර්ණ පදධතියේ සිදු වන රසායනික ක්‍රියාකාරිත්වය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් ප්ලාස්ටික් දිරාපත් කිරීමේ රහස හෙළිදරව් කර ගැනීමට සිය පරීක්ෂණ කඩිනම් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

එම දළඹු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ වාසය කරන ක්ෂුද්‍ර ජීවීන් ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ක්‍රියාවලියේ විශාල කර්තව්‍යයක් ඉටු කරන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ප්ලාස්ටික් ජීර්ණ ක්‍රියාවලියේ රසායනික ක්‍රියාකාරිත්වය හෙළි කර ගැනීමට හැකියාව ලැබුනොත් එය පරිසරයට මුදා හරින ඉවත දමන ප්ලාස්ටික් හිතකර අයුරින් කළමනාකරණය කිරීමට ඉවහල් වනු ඇත.

Plastic

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ෂොපින් බෑග්' සහ අහාර වර්ග ඇසිරීමට ගන්නා පොලිතින් වර්ග සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට වසර සියයක පමණ කාලයක් ගත වේ.

'අපි සැලසුම් කරන්නේ මේ නව විද්‍යාත්මක සොයා ගැනීම ඉවත ලන ප්ලාස්ටික් ද්‍රව්‍ය දිරාපත් කිරීමේ ක්‍රියාවලියකට පෙරලීමටයි. එමගින් අපට පුළුවන් ප්ලාස්ටික් නිපදවීමේ නොවැලක්විය හැකි අතුරු ප්‍රතිපලයක් වන පරිසර දූෂණය වලක්වා ගැනීමට විසඳුමක් ලබා දෙන්න. සාගර , ගංගා, විතරක් නෙවෙයි මුළුමහත් පරිසරයම ප්ලාස්ටික් වලින් ආරක්ෂා කර ගන්න අපට හැකි වේවි. විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් ප්ලාස්ටික් පොලිතින් ආදිය හිතුමතේ පරිසරයට මුදා හැරීම කිසිසේත් යුක්ති සහගත නොවන බව විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි පෙන්වා දෙන්නීය.

'කරන්ට් බයොලොජි' (Current Biology) නම් විද්‍යා සඟරාවේ විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි විසින් සිදු කළ ඉහත කී නව විද්‍යාත්මක සොයා ගැනීමේ තොරතුරු පළ කොට තිබේ.