පැරිස් ප්‍රහාරය ශ්‍රී ලාංකිකයකුගේ ඇසින්

පැරිස් අගනුවර දැඩි ආරක්‍ෂක වැඩ පිළිවෙලක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් අගනුවර දැඩි ආරක්‍ෂක වැඩ පිළිවෙලක්

ප්‍රහාරකයන් විසින් බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 20) රාත්‍රියේ පැරිස් අගනුවර දී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා ඝාතනය කරනු ලැබීමත් සමඟ තවත් දින තුනකින් පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව සියලු ඡන්ද මධ්‍යස්ථානවලට ආරක්ෂක නිලධාරියකු බැගින් යොදවමින් දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් ඇතැයි පැරිස් අගනුවර වෙසෙන මාධ්‍යවේදී සුනිල් ආනන්ද බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

'මර්සෙයි' (marseille)නගරයේ දී ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර ජනාධිපතිවරන ඡන්ද විමසීම් පැවැත්වෙන කාල සීමාව ඇතුලත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් පිළිබඳව එම අත්අඩංගුවට ගැනීම් මගින් තොරතුරු ලැබී ඇතිබව ප්‍රංශ ආරක්ෂක අංශ පවසයි.

'ජනාධිපති ධූර අපේක්ෂකයන් එකොළොස් දෙනෙක් මැතිවරණ සටනට අවතීර්ණ වී සිටිනවා. ඡන්ද මධ්‍යස්ථාන 69000 ක් පමණ පිහිටුවා තියෙනව. දැනට ප්‍රකාශිත තොරතුරු අනුව ප්‍රහාරකයන්ගේ ඉලක්කය ජනාධිපති ධූර අපේක්ෂකයන් නොවන බවයි පෙනෙන්නේ. ඔවුන්ගේ අභිප්‍රාය ජනාධිපතිවරණ වැඩ පිළිවෙල ඉලක්ක කරගත් එකක්. මහජනතාව ඡන්දය දැමීමට යාමෙන් වළක්වාලීම ප්‍රහාරකයන්ගේ සැලැස්ම යයි විශ්වාස කෙරෙනවා' මාධ්‍යවේදී සුනිල් ආනන්ද සඳහන් කළේය.

එවැනි තත්වයක් යටතේ විශේෂයෙන්ම පැරිස් අගනුවර විශේෂ පොලිස් ආරක්ෂක වැඩ පිළිවෙලක් යොදවා ඇති බවත් ඔහු පවසයි.

සන්නද්ධ පොලිස් කාන්තාවක් මුර සංචාරයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සන්නද්ධ පොලිස් කාන්තාවක් මුර සංචාරයේ

මෙම ජනාධිපතිවරණයේ දී ඉදිරියෙන් සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනෙක් සිය අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අවලංගු කර ඇති බවත් වාර්තා වෙයි.

එහෙත් මේ අතරවාරයේ ප්‍රංශ ජනාධිපතිවරණය දැඩි උණුසුම් මුහුණුවරක් ගනිමින් ඇති බව මාධ්‍යවේදී සුනිල් ආනන්ද සඳහන් කරයි.

අනිද්දා පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකු ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50% ක ඡන්ද ප්‍රතිශතයක් පළමු වටයේ දී ලබා නොගන්නා ආකාරයක් දක්නට ලැබෙන අතර, එම තත්වය යටතේ කලින් ජනාධිපතිවරණවල දී මෙන්ම මෙවරත් දෙවන වටයේ ඡන්ද විමසීමක් කරා යාමට සිදුවිය හැකි බවත් ප්‍රංශ වාර්තා මගින් පැවසෙයි.