පැරිසියේ වෙඩි තැබීම : පොලිස් නිලධාරියකු මරුට

පැරිසියේ වෙඩි තැබීම : පොලිස් නිලධාරියකු මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චැම්ප් එලිසීස්

තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්වී ප්‍රංශයේ පැරිස් නුවරදී පොලිස් නිලධාරියකු මිය ගිය අතර තවත් දෙදෙනෙකුට තුවාල විණි.

ප්‍රහාරය එල්ලවුණු චැම්ප් එලිසීස් ප්‍රදේශය මුද්‍රා තැබුණු අතර හුදෙකලා ප්‍රහාරකයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබීය.

මේ සිද්ධිය හටගැනුනේ ලබන ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයට සැරසෙන ප්‍රධාන අපේක්ෂකයින් රුපවාහිනිය ඔස්සේ සිය අදහස් පළකරන අතරවාරයේදීය.

ප්‍රහාරයෙන් පසු වීථි සෝදිසි කරන ආරක්ෂක නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් පසු වීථි සෝදිසි කරන ආරක්ෂක නිලධාරීන්

"පෙනෙන්නට ඇති ආකාරයට හිතාමතාම අදාළ නිලධාරීන් වෙත ප්‍රහාරය එල්ලකර තිබෙනවා" යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පියේ හෙන්ර්ය් බ්‍රන්ඩෙට් ප්‍රංශයේ BFMTV පුවත් චැනලයට පවසා තිබේ.

ඒඑෆ්පී පුවත් ආයතනයේ දත්ත අනුව 2015 වසරේ සිට ජිහාඩ් ප්‍රහාරවලට ලක්වී පුද්ගලයින් 238 දෙනෙකු මියයාම මෙන්ම මෑතදී එල්ලවූ ප්‍රහාරවල වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාරගැනීමත් සමග ඉස්ලාමීය සන්නද්ධභාවය පිළිබද ගැටලුව ඡන්දයේ ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත.

චැම්ප් එලිසීස් ප්‍රදේශය වෙත නිති පතා ඇදෙන විශාල පිරිස හේතුවෙන් ලොව පුරා ප්‍රකටව ඇති බැවින් එය ඉලක්කයක් විය හැකි බව දිගු කාලයක සිට හඳුනාගනු ලබා තිබු බව පැරිස් අගනුවර සිට තොරතුරු වාර්තා කළ බීබීසී හි හියු ස්කොෆීල්ඩ් පැවසීය.

ප්‍රහාරයෙන් අනතුරුව දෑත් ඔසවාගෙන පොලිසිය වෙත යන පුද්ගලයින්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් අනතුරුව දෑත් ඔසවාගෙන පොලිසිය වෙත යන පුද්ගලයින්

ටෙලිග්‍රෑම් පණිවිඩය

ප්‍රංශයේ වේලාවෙන් රාත්‍රී 9 ට පොලිස් බස් රථයක් අසලින් මාර්ගයේ පසෙක නතර කළ මෝටර් රියකින් බට පුද්ගලයෙකු ස්වයංක්‍රීය ගිනි අවියකින් බස් රියට ප්‍රහාර එල්ල කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.

එක් නිලධාරියකු මරා දැමු ප්‍රහාරකයා තවත් දෙදෙනෙකුට තුවාල කරමින් පළා යාමට උත්සහ කළද ආරක්ෂක අංශවල වෙඩි පහරට ලක්ව මිය ගිය බවද ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් මරා දැමීමට ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් පණිවිඩ සේවය හරහා කළ ප්‍රකාශ අනුව ආරක්ෂක අංශ ඝාතකයා පිළිබඳ දැනසිටි බව ආරංචි මාර්ග උපුටා දක්වන BFMTV පුවත් චැනලය පැවසීය.