ප්‍රංශයට තවත් 'ත්‍රස්ත ප්‍රහාරයක්'

ඡායාරූප මූලාශ්‍රය, Larossi Abballa - Facebook
ප්‍රංශයේ පොලිස් කොමාන්ඩර් නිලධාරීයකු සහ පොලිස් සේවයේ යෙදුනු ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට කිසිදු සැකයක් නොමැති බව ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්ශුවා ඕලන්ද් ප්‍රකාශ කරයි.
මේ වන විට ප්‍රංශය ඉතා බලවත් ත්‍රස්ත තර්ජනයකට මුහුණ දී සිටින බවයි ජනාධිපති ෆ්‍රාන්ශුවා ඕලන්ද් පවසන්නේ.
පැරිස් නුවරට මදක් එපිටින් මැග්නවිල් නගරයේ පිහිටි සිය නිවසේ සිටි පොලිස් කොමාන්ඩර් නිලධාරියකු සහ පොලිස් සේවයේ යෙදුනු ඔහුගේ බිරිඳ පිහි ඇනුම් ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබේ.
ඝාතනයට ලක් වූ යුවළේ තුන් අවුරුදු පුත්‍රයාට පමණක් ප්‍රහාරයෙන් කිසිදු තුවාලයක් සිදු වී නැත.
ඉස්ලාම් රාජ්‍ය සංවිධානය වෙනුවෙන් මෙම ඝාතන සිදු කරන බව ප්‍රකාශ කළ ප්‍රහාරකයා පසුව පොලිස් වෙඩි පහරින් මිය ගිය බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පොලිස් නිලධාරීන් දෙදෙනාට ප්‍රහාර එල්ල කරන අයුරු පටිගත කිරීමට ප්‍රහාරකයා කටයුතු කර ඇති අතර ඔවුන් දෙදෙනා මියගොස් සුළු මොහොතකින් මිනිත්තු දහ තුනක දීර්ඝ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර තිබේ.
ජිහාඩි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට පෙර වරදකරුවකු වූ මෙම ප්‍රහාරකයා ලරෝසි අබ්බාල්ලා නමැත්තකු වන බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාරකයා විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබූ වීඩියෝ පටයේ යූරෝ 2016 පාපන්දු තරඟාවලිය සම්බන්ධයෙන් යම් කරුණු අඩංගු වන අතර මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුම අවලංගු කිරීමටත් වීඩියෝවේ දැක්වෙන කරුණු පිළිබඳ පරීක්ෂණ ඇරඹීමටත් ප්‍රංශ ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.








