ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාම් ඝාතනය: උතුරු කොරියානු සැකකරුට නිදහස
උතුරු කොරියානු නායකයාගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසු වූ උතුරු කොරියානු ජාතිකයා මැලේසියානු පොලිසිය විසින් නිදහස් කරනු ලැබ තිබේ.
මැලේසියානු බලධාරීන් කියා සිටියේ උතුරු කොරියානු සැකකරුට එරෙහිව නඩුවක් ගොනු කිරීමට තරම් ප්‍රබල සාක්ෂි ලැබී නැති අතර සංක්‍රමණික නීති කඩ කිරීමේ වරදට ඔහු උතුරු කොරියාව බලා පිටුවහල් කිරීමට තීරණය කළ බවය.
කෙසේ වෙතත් උතුරු කොරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටි හිටපු නියෝජිත රී ටොන් ඉල් ක්වාලාලම්පූර් අගනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කිම් ජොන් නාම් ඝාතනයේ මරණ පරීක්ෂණය දැඩි ලෙස ප්‍රශ්න කළේය.
"ඇයි ඔහු රසායනිකය මුහුණේ තවරපු ගමන්ම මිය ගියේ? මේ වගේ මාරාන්තික රසායනයක් සැකකාරියන් දෙදෙනා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන විෂ වෙන්නේ නැතිව ඔහුගේ මුහුණේ ආලේප කළේ කොහොමද? ඒ අවට හිටපු මගීන් දහස් ගණනින් කිසිවෙක් විෂ වීමට ලක් වෙන්නේ නැතුව මේ මරණය සිදු වුනේ කොහොමද?" උතුරු කොරියානු නියෝජිතයා ප්‍රශ්න කළේය.
ඝාතනය පිටුපස උතුරු කොරියාව සිටින බව බොහෝ දෙනෙක් විශ්වාස කරන නමුත් 'පියෝන්ග් යෑන්' පාලනය එම චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරයි.