කිම් ජොන්ග් නාම් ඝාතනය: චූදිතයන්ට නඩු

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව මැලේසියාවේ නීතිපති පවසයි.

ඉන්දුනීසියානු සහ වියට්නාම ගමන් බලපත්‍ර හිමි චුදිත කාන්තාවන් දෙදෙනා අදාළ චෝදනාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දණ්ඩනය හිමිවනු ඇති බව මැලේසියාවේ නීතිපති මොහොමඩ් අපාන්ඩි අලි කියා සිටියේය.

ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපලේ රැඳී සිටි කිම් ජොන්ග් නාම් ඝාතනය කිරීම සඳහා "වී එක්ස්" (VX) නමැති විෂ රසායනය භාවිත කොට ඇති බව මැලේසියානු පොලිසිය පවසයි.

ඝාතනය පිටුපස උතුරු කොරියාව සිටින බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

මේ අතර කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලා උතුරු කොරියාවේ ඉහළ පෙළ නියෝජිතයෙක් මැලේසියාවට පැමිණ සිටියි.

ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ පසුවන සෙසු කොරියානු ජාතිකයා නිදහස් කරන ලෙසත් උතුරු කොරියාවේ තානාපති නියෝජිතවරු ඉල්ලා සිටිති.

කිම් ජොන්ග් නාම් ඝාතනය කිරීම සඳහා විෂ රසායනයක් භාවිත කොට ඇති බවට වූ නිගමනය උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි.