රහසේ සිප්සතර බෙදන බහායි සුලුජන සරසවිය

බහයි සරසවිය
ඡායාරූප ශීර්ෂ වැකිය, මෝනා දැන් කොලොම්බියා සරසවියෙන් මනෝවිද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනා සිටින්නීය

ඉරානයේ විශාලතම සුලු ජන ප්‍රජාව ලෙස සැළකෙන බහායි ජනතාව විවිධාකාරයෙන් අසාධාරණයට සහ පීඩාවට ලක්වන ජන කොටසකි.

මෙවැනි එක් අසාධාරණයක් වන්නේ බහායි ජනවර්ගයට අයත් කිසිවෙකුට ඉරානයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඇති තහනමය.

බහායි ප්‍රජාව විසින් ටෙහෙරාන් නගරය තුළ රහසේ පවත්වාගෙන යනු ලබන බහායි සුලු ජන ප්‍රජාවට පමණක් සීමා වූ 'Bahai Institute for Higher Education (BIHE)' නමැති සරසවියට ඇතුළුවී ඇතැමුන් උසස් අධ්‍යාපනය ලබන්නේ මෙයට විසඳුමක් වශයෙනි.

'රහසිගත සරසවිය'තුළින් ප්‍රථම උපාධිය සඳහා අධ්‍යාපනය ලැබිය හැකි නමුත් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බහායි ජාතිකයෙකුට ඇති එකම විසඳුම වන්නේ ඉරානයෙන් පිටවී එතෙර විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමය.

ශිරින් සහ මෝනා යනු ඉරානයේ සාමාන්‍ය සරසවිවලට යැවූ අයැදුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු 'බහායි රහසිගත සරසවියෙන්'ප්‍රථම උපාධිය ලබා විදේශගතවූ බහායි සුලු ජන ප්‍රජාවට අයත් කාන්තාවන් දෙදෙනෙකි.

තාඩන පීඩන

ඒ අතරින් ශිරින් නමැති කාන්තාව තම ජීවිත අත්දැකීම බීබීසීයේ ලිපිකා පෙලැම් වෙත හෙළිකළාය.

"මට මතකයි මගේ පියා ඔහුගේ හිසේ තිබුණු තුවාළ පෙන්නලා මට කියනව කුඩා කාලයේ ඔහු පාසැල් යනකොට නගරයේ ළමයින්ගේ ප්‍රහාරවලට ලක්වුණු හැටි" යනුවෙන් පැවසු ඇය සඳහන් කළේ තමා ද 1980 දශකයේ ඉරානයේ සිටියදී එවැනි අත්දැකීම්වලට මුහුණදුන් බව තම පියාගෙන් පවා වසන් කළ බවය. "මම හිතනව ඔහු ප්‍රර්ථනා කළේ ලෝකය යහපත් අතට හැරේවා කියල. ඒ වගේම ඔහු බලාපොරොත්තු වුණා ලෝකය යහපත් අතට හැරෙයි කියල" යනුවෙන් ඇය පැවසුවාය.

ශිරින්ගේ පියා එසේ සිතුව ද 1979 දී සිදුවුණු ඉස්ලාමීය විප්ලවයෙන් පසු බහායි සුලු ජන ප්‍රජාවට එරෙහි තාඩන පීඩනවල වැඩිවීමක් සිදුවිය.

කොස්රු නම් තම පුතු පාසල් යාම ආරම්භ කිරීමත් සමග පියාගෙන් සැඟවියයුතු රහස් වැඩිවූ බව පවසන ශිරින් පියා බලාපොරොත්තු නොවූ අයුරින් තුන්වැනි පරම්පරාව ද බහයි ප්‍රජාව පහත්කොට සළකන බව පවසා පියාට වේදනාවක් දීමට අකමැතිවූ බව සඳහන් කළාය.

ශිරින් ගේ පුතු කොස්රු අටවැනි වසරේ ඉගෙනුම ලබද්දී ඔහු බහායි ජන ප්‍රජාවට අයත් බව පාසලේ මිතුරන්ට හෙළිකළ සැනින් මිතුරන් ඔහු අතහැර ගිය බව ඇය පැවසුවේ වේදනාවෙනි.

"අනෙක් ළමයි මාව අල්ලන්නේ නැහැ. බැරිවෙලා හරි මම ඒ කෙනෙක්ව ඇල්ලුවොත් ඔවුන් ගිහිං නානවා පිරිසිදුවෙන්න" යනුවෙන් තම පුතු තමන්ට පැවසූ බව ශිරින් පැවසුවාය.

බහායි ආගම

බාබි නමින් හඳුන්වන බහායි ආගම ආරම්භවූයේ දහනව වෙනි ශතවර්ෂයේ මැද භාගයේදීය. ඉරානයේ ෂියා මුස්ලිම් ජනතාව විසින් බහායිවරුන් අපගාමී පිරිසක් ලෙස සළකනු ලැබුවේ එහෙයිනි. එසේම බහායිවරුන් ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික නායකයාවන මොහොමඩ් අවසාන ශාස්තෘවරයා ලෙස පිළිනොගැනීම ද තවත් හේතුවකි.

බහායි ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක මුහුණදෙන ගැටලු උග්‍රවන්නේ පාසල් දිවිය නිමාකළ පසුවය.

ඉරානය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ විශ්ව විද්‍යාල තුළට මුස්ලිම් තරුණියන්ට ඇතුළුවිය හැකි නමුත් බහායි ප්‍රජාවට අයත්වුවන්ට ඇතුළුවිය නොහැකිය

ශිරින් පවසන ආකාරයට ඇයට විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට නොහැකිවිය. ඇයට තිබුණු එකම විසඳුම වුණේ රහසේ පවත්වාගෙන යන බහායි සුලු ජන ප්‍රජාවට පමණක් සීමා වූ 'Bahai Institute for Higher Education (BIHE)' නමැති බහායි උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළුවීම පමණි.

1994 දී එම සරසවියට ඇය ඇතුළුවූ වකවානුවේදී එහි තිබුණේ ප්‍රථම උපාධියට අදාළ පාඨමාලා දෙකක් පමණක් වූ බැවින් ඇය 'සංසන්දනාත්ම ආගමික ඉගැන්වීම්' නමැති පාඨමාලාව තෝරාගත්තාය.

'පැනගත නොහැකි කඩුල්ලක්'

මෙම ශාස්ත්‍රවේදී පාඨමාලාවේ දේශණ පැවැත්වුණේ ටෙහෙරාන් නගරයේ විවිධ තැන්වල ඇති පෞද්ගලික නිවෙස්වලදීය. පාඨමාලාව අවසන් කිරීම සඳහා ඇයට වසර හයක් ගතවිය. 'පැනගත නොහැකි කඩුල්ලක්' හමුවට ඇය පැමිණියේ ඉන් පසුවය. ශාස්ත්‍රපති (MA) හෝ දර්ශනසූරී (PhD) උපාධිය දක්වා ඉගෙන ගැනීමට හෝ උපාධියට සරිලන රැකියාවක් සොයාගැනීමට මගක් ඇයට නොවුණි. තමා මුස්ලිම් භක්තිකයෙකු නොවන බව සඳහන් කොට විශ්ව විද්‍යාලයකට අයැදුම්පතක් දැමූ විට ඇයට ලැබුණේ 'ඔබට මෙම විශ්ව විද්‍යාලයට ඇතුළුවිය නොහැකිය' යන්න සඳහන් පිළිතුරු ලිපියකි.

මේ සමගම බහායි ප්‍රජාවට අයත් විද්වතුන්ට එරෙහි ප්‍රහාරයක් ද දියත් කෙරුණි. බහායි අධ්‍යාපන ආයතනයට අයත් පන්තිකාමර සෝදිසි කිරීම ආරම්භවූ අතර එම ආයතනයේ ආචාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැණුනි. තමා ඉදිරිපිටදීම තමා සිහින මැවූ අනාගත ලෝකය බිඳ වැටෙන අයුරු බලාසිටිනවා හැරෙන්නට ශිරින්ට කළ හැකි දෙයක් නොවීය.

එක්සත් රාජධානියේ ගෘහසේවිකා වීසා පිලිබඳ ඇයට අසන්නට ලැබුණේ මෙවිටය. ඇය ඒ මග තෝරාගත්තාය.

"මම ඉක්මනින්ම අයැදුම් කළා, කල්යවන්නේ නැතිව. මොන විදියේ වීසා එකකින් හරි කමක් නැහැ මට රටින් පිටවෙන්නයි අවශ්‍ය වුණේ" යනුවෙන් ඇය පැවසුවාය.

2003 වසරේ දී ශිරින් එක්සත් රාජධානියට පැමිණියාය. ගෘහසේවිකාවක් ලෙස සේවය කරන අතරතුර ස්කාබරෝ ප්‍රදේශයේ ඉතාලියානු ආපන ශාලාවක රැකියාවක් ද සොයා ගත්තාය. එහෙත් තමා පැමිණි අරමුණ සිත තුළ අධිෂ්ඨානශීලී ලෙස තැන්පත් කර ගත්තාය.

බර්මිංහැම් විශ්වවිද්‍යාලයට

කෙසේහෝ එක්තරා එක්තරා උදෑසනක බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ දොරටුවෙන් ඇතුළුවූ ඇය තමන්ට ටෙහෙරාන් නුවර 'රහසිගත විශ්වවිද්‍යාලයකින්' ආගම විෂය සඳහා උපාධියක් ඇති බව පැවසුවාය. අධ්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නොසඟවා සරසවි බලධාරීන්ට හෙළිකළාය. ඇය නොසිතූ අයුරින් සතියකට පසු බර්මිංහැම් විශ්වවිද්‍යාලයෙන් ඇයට කැඳවීමක් ලැබුණේ ශිෂ්‍යාවක ලෙස ඇය බඳවාගත් බව දන්වමිනි.

"ඒක අශ්චර්යයකටත් වඩා වැඩි දෙයක්. මම බලාපොරොත්තුවුනු මගේ සිහිනයටත් වඩා වැඩි දෙයක්, අදටත් මගේ ජීවිතයේදී ලබපු වටිනාම ත්‍යාගය ඒක කියලයි මට හිතෙන්නෙ" යනුවෙන් ඇය පවසන්නීය.

2006 වසරේදී තම උපාධිය නිමකළ ශිරින් ඇමරිකාවේ සිටින තම සහෝදරයා වෙතට ගියාය. ශිරින් ඇතුළු බොහොමයක් බහායි ජනප්‍රජාව ඇමරිකාවේ ජීවත්වෙති. එය ඔවුන්ට අභයභූමියක් වැනිය.

මෝනා

සරණාගත වීසා

ශිරින් ලද අත්දැකීමෙන් කලකට පසු මෝනා නම් තවත් බහයි තරුණියක් ටෙහෙරානයේ විශ්වවිද්‍යාල වලට අයැදුම් කරැ තිබුණි. තමා ඉස්ලාම් භක්තිකයෙකු නොවන බව සඳහන් කිරීමෙන් පසු ඇයට ලැබුනේද ඊට වසර දහයකට පෙර ශිරින්ට ලැබුණු පිළිතුරමය.

මේ අතර 2008 වසරේදී බහායි සුළු ජනප්‍රජාවගේ පරිපාලන මණ්ඩලය වන 'යාරන්' නමින් හැඳින්වෙන සංවිධානයට අයත් සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබූ අතර 2010 වසරේදී වසර විස්සක සිර දඬුවමකට යටත්කෙරුණි.

වෙනත් විකල්පයක් නොවූ හෙයින් මෝනා ද ශිරින් මෙන්ම රහසිගත සරසවියෙන් උපාධිය සමත්වී සිටි හෙයින් අන්තර්ජාතික ආගමික සරණාගතයන් සඳහා වූ වීසා ක්‍රමයක් ඔස්සේ 2009 වසරේ දී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ගියාය. මෝනා දැන් කොලොම්බියා සරසවියෙන් මනෝවිද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනා සිටින්නීය.