රෝහින්ග්‍යා ප්‍රජාව ආරක්ෂා කරන්නැයි සුචීගෙන් ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රජයේ හමුදා විසින් රෝහින්ග්‍යා මුස්ලිම් සුළු ජන ප්‍රජාව පලවාහරිනු ලබමින් සිටින රඛින් පළාතට ගොස් විමසා බලන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාර රාජ්‍ය උපදේශිකා අවුන් සාං සුචීගෙන් ඉල්ලා ඇත.
එක්සත්ජාතීන්ගේ සංවිධානය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අවුන් සාං සුචීගෙන් ඉල්ලා ඇත්තේ බුරුම හමුදාව රෝහින්ග්‍යා සුළු ජන ප්‍රජාවට අයත් කාන්තාවන් ලිංගික දුෂණයට ලක්කර, සාමාන්‍ය වැසියන් මරා දමා, නිවෙස් ගිනිබත් කරන බවට කෙරෙන චෝදනා පිලිබඳ සොයාබලා එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.
පසුගිය සතියේ සුචී ජාත්‍යන්තර ප්‍රජාවට චෝදනා කළේ වයඹදිග මියන්මාරයේ බෞද්ධ සහ මුස්ලිම් ජනතාව කුපිතකරවන අන්දමේ අදහස් මතුකරන බව සඳහන් කරමිනි.
එහෙත් එක්සත්ජාතීන්ගේ විශේෂ උපදේශක විජායි නම්බියාර් ප්‍රකාශකළේ අන්තවාදීන්ට එරෙහිව ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගැනීම මියන්මාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුවට පත්වී ඇති බවය.




