ද.කොරියාව : ජනපතිනියට එරෙහි විරෝධය පුළුල්වෙයි

25,000ක පොලිස් නිලධාරීන් පිරිසක් සෝල් අගනුවරට යෙදවුණ ද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 25,000ක පොලිස් නිලධාරීන් පිරිසක් සෝල් අගනුවරට යෙදවුණ ද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවිණි

දකුණු කොරියානු ජනාධිපතිනියට ධුරයෙන් ඉවත්වන ලෙස බලකෙරෙන විරෝධතා ඊයේ (නොවැ. 26) තවදුරටත් ව්‍යාප්ත විය.

සති පහකට පෙර ඇරඹුණු එම විරෝධතා 1980 දශකයේදී පැවැති ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණවලට පසු ඇතිවූ විශාලතම ජනතා පෙළ ගැසීම බව වාර්තාවේ.

මිලියන 1.5ක ජනතාවක් ඊයේ සෝල් අගනුවරට රැස්වූ අතර රටේ අනෙකුත් ප්‍රදේශවල ලක්ෂ හතරක ජනතාව විරෝධතාවට එක්වූ බව සංවිධායකයෝ පැවසූහ. එහෙත් පොලිසිය පවසන පරිදි සෝල් අගනුවරට රැස්වූ පිරිස දෙලක්ෂ හැත්තෑ දහසක් වේ.

25,000ක පොලිස් නිලධාරීන් පිරිසක් සෝල් අගනුවරට යෙදවුණ ද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවිණි. ගොවීන්, බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙන් ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඇතුළු විවිධ පුද්ගලයෝ එම විරෝධතාවට එක්වූහ.

"පෞද්ගලික සම්බන්ධතාවක් කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තැබීම"

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, "පෞද්ගලික සම්බන්ධතාවක් කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තැබීම"

සිය මිතුරියකවන චොයි සූන් සිල් හට අප්‍රකටව හිඳිමින් බලය අයුතු ලෙස යෙදවීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිනි පාක් ගුන් හේ වෙත එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඇය දෙවතාවක් සමාව අයැද සිටියද ධුරයෙන් ඉවත්වීමට කෙරෙන බලකිරීම්වලට ප්‍රතිරෝධය දක්වන්නීය.

මේ මාසය මුලදී, "පෞද්ගලික සම්බන්ධතාවක් කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තැබීම" ගැන සමාව අයැද සිටි ජනාධිපතිනිය, අපකීර්තිමත් සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන නිල විමර්ශනයට සහය දෙන බවට පොරොන්දු වූවාය.

දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව බලයේ සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව නීති පියවර ගැනීමට ඉඩක් නොමැති අතර ජනාධිපතිනි පාක් ගුන් හේ ගේ ධුර කාලයෙන් තවත් මාස 15ක් ඉතිරිව පවතී.

ව්‍යාපාරික පරිත්‍යාග ලබාගැනීම සඳහා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ව්‍යාපාරික පරිත්‍යාග ලබාගැනීම සඳහා"

එසේ වුවද, නීතිඥයින් විසින්, අදාළ අපකීර්තිමත් සිදුවීම්වලට ජනාධිපතිනිය සෘජුව ම සම්බන්ධකොට ඇති බැවින් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ඉඩකඩ ඇති බව ද වාර්තාවේ.

මේ මස මුලදී අත්අඩංගුවට ගැනුණු චොයි නම් වූ ජනාධිපතිනියගේ මිතුරිය මෙන් ම තවත් හිටපු ජනාධිපති සහායකයින් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නීතිඥයෝ අපේක්ෂා කරති.

දකුණු කොරියානු සමාගම්වලින් විශාල මුදල් සම්භාරයක් කප්පම් ලෙස ලබාගැනීමට උත්සාහ දැරීම මෙන් ම තමන් විසින් පාලනය කරනු ලබන ලාභ නොලබන අරමුදලක් වෙනුවෙන් ව්‍යාපාරික පරිත්‍යාග ලබාගැනීම සඳහා ජනාධිපතිනිය සමග ඇති මිත්‍රත්වය උපයෝගිකොටගෙන ඇතැයි යන චෝදනා චොයි සූන් සිල් වෙත එල්ලවී ඇත.