ට්‍රම්ප් සහ ඔබාමා ප්‍රථම නිල හමුව

ට්‍රම්ප් - ඔබාමා ධවල මන්දිරයේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් - ඔබාමා ධවල මන්දිරයේ

බලය හුවමාරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති බරක් ඔබාමා සමග සාකච්ඡා කිරීමට තමාට ලැබුණු අවස්ථාව 'මහත් ගෞරවයක්' බව ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ට්‍රම්ප් සමග පැවති හමුව පිළිබඳ අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ, පැයකට වැඩි කාලයක් පැවති සාකච්ඡාව ඉතාමත් විශිෂ්ට සහ විවිධ ක්ෂේත්‍ර වෙත විහිදී ගිය කතාබහක් වූ බවය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී බරක් ඔබාමා විවේචනය කළ ට්‍රම්ප්, ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කර සිටියේය.

එසේම ට්‍රම්ප් විවේචනයට ලක් කළ ජනාධිපති බරක් ඔබාමා, ඔහු 'අද්විතීය ලෙස සුදුසුකම් නොමැති' පුද්ගලයකු බව පෙන්වා දී තිබිණ.

ඇමරිකානු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේදී මෙලානියා ට්‍රම්ප් මුණගැසුණු අවස්ථාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේදී මෙලානියා ට්‍රම්ප් මුණගැසුණු අවස්ථාව

කෙසේ වෙතත් ට්‍රම්ප් සමග පැවති සාකච්ඡාවට පසුව මාධ්‍ය ඇමතූ බරක් ඔබාමා, ඉදිරි මාස දෙක ඇතුළත සාර්ථකව බලය හුවමාරු කිරීම සඳහා ප්‍රමුඛත්වය දීමට බලාපොරොත්තු වන බව කියා සිටියේය.

දේශීය හා විදේශීය ප්‍රතිපත්ති පිළිබඳ ට්‍රම්ප් සමග දිගටම සාකච්ඡා කළ බව පැවසූ ඔබාමා, අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එකට වැඩ කිරීමට ට්‍රම්ප් සිය කැමැත්ත පල කළ බව පෙන්වා දුන්නේය.

සාකච්ඡාව පිළිබඳ ට්‍රම්ප් කියා සිටියේ ඉදිරි කාලයේ දී බරක් ඔබාමා සමග වැඩ කිරීමට තමන් සූදානම් බවය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එරෙහිව ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් නගරයේ දෙවෙනි දිනටත් පැවති විරෝධතා ව්‍යාපාරය ප්‍රචණ්ඩ අතට හැරී ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් - ඔබාමා ධවල මන්දිරයේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

දහසකට අධික විරෝධතාකරුවන් කඩ සාප්පුවලට හානි පමුණුවමින් ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.

එම නගරයේ කැරලිකාර තත්වයක් ප්‍රකාශයට පත්කළ පොලිසිය, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ විසි නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම විරෝධතා ව්‍යාපාර අසාධාරණ බව සිය ට්විටර් ගිණුමේ සඳහන් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, මාධ්‍ය විසින් මහජනතාව උසිගන්වනු ලබන බව කියා සිටී.

නගරයේ කැරලිකාර තත්වයක් ප්‍රකාශයට පත්කළ පොලිසිය, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ විසි නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත