ජයලලිතා බලතල අත්හරියි

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයරාම් ජයලලිතා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයරාම් ජයලලිතා

රෝගාතුර වී සිටින, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයරාම් ජයලලිතා විසින් නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත සිය වගකීම් පවරා දෙනු ලැබ ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසයි.

මහ ඇමතිනී ජයරාම් ජයලලිතා යටතේ පැවති සියලු අමාත්‍යංශ ඇයගේ සමීපතම දේශපාලන සගයකු වන ඕපී පනීර්සේල්වම් වෙත පවරා දෙනු ලැබ ඇතත් තවදුරටත් ඇය සිය ධුරයේ එලෙසම රැඳී සිටිනු ඇත.

ජයලලිතා මහ ඇමතිනියගේ කැමැත්ත පරිදි අදාළ වගකීම් පැවරුනු බව ආණ්ඩුකාර විද්‍යාසාගර් රාඕ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මෙම ක්‍රියාමාර්ගය විශ්ලේෂකයන් විසින් හඳුන්වනු ලබන්නේ මහ ඇමතිනියගේ සෞඛ්‍යය තත්වය සම්බන්ධයෙන් පවතින බිය සමනය කිරීමේ තවත් එක් උත්සාහයක් ලෙසය.

පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට රෝහල්ගත කරනු ලැබ සිටින මහ ඇමතිනියගේ සෞඛ්‍යය තත්වය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොවූ අතර එය ඇයගේ ආධාරකරුවන්ගේ තැති ගැන්මට හේතු වී තිබේ.

යම් හෙයකින් මහ ඇමතිනිය සම්බන්ධයෙන් කණගාටුදායක පුවතක් වාර්තා වුවහොත් ඇයගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වනු ඇති බවට හෝ ජීවිත හානි කර ගැනීම කෙරෙහි යොමු වනු ඇතැයි යන්න පිළිබඳ සැලකිල්ල යොමුවී තිබේ.