සිරියාවේ බෝම්බ පිපිරීම් මාලාවක්

Destruction in Homs from bomb attack (05/09/16)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, හොම්ස් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් හානියට පත් ගොඩනැගිලි

සිරියානු ආණ්ඩුවේ පාලනය යටතේ පවතින කලාප තුළ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවකට හසු වී පුද්ගලයන් විසි හත් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

විශාලතම පිපිරීම සිදු වී ඇත්තේ ප්‍රධාන රුසියානු ගුවන් හමුදා කඳවුර පිහිටි වෙරළ කලාපීය ටාටස් නගරයේයි.

ඉහත කී පිපිරීමට හසු වී පුද්ගලයන් විසි දෙනකු මරුමුවට පත් වී තිබෙන අතර ඊට පෙර එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වූ පුද්ගලයන්ට උපකාර කරමින් සිටි සහන සේවකයන් ඒ අතර සිටින බවයි බලධාරීන් පවසන්නේ.

හොම්ස් නගරයේ හමුදා මුරපොලකට එල්ල වූ තවත් කාර් බෝම්බයකට හසු වී හමුදා භටයන් දෙදෙනකු මරුමුවට පත් වී තිබේ.

සිරියානු ආණ්ඩුව සහ කුර්දි හමුදා අත බෙදී වෙන්ව පවතින ඊසාන දිග පිහිටි හසාකා නගරයේ සිදු වූ පිපිරීමකට හසු වී පුද්ගලයන් පස් දෙනකු මරුමුවට පත් වී ඇති බවත් බලධාරීහු කියා සිටිති.

මේ අතර සිරියාවේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ඇමරිකාව සහ රුසියාව අසමත් වී ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.