ඩලාස් වෙඩිතැබීම: පොලීසියේ 5 ක් මරුට, වෙඩි තැබීම් දිගටම
පොලීසිය විසින් කළු ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීමට එරෙහිව පැවති විරෝධතාවයක දී සැඟවී සිට කළ වෙඩි තැබීමකින් ඩලාස් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මරුමුවට පත්වූ අතර තවත් 6 දෙනෙකුට තුවාල සිදුවිය.
ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන නවතා තබන තට්ටු ගොඩනැගිල්ලක සිටින තවත් තුවක්කු කරුවෙකු මෙල්ල කිරීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකාවේ වේලාවෙන් රාත්‍රී 8.45 ට (ග්‍රිනිච් වේලාවෙන් සිකුරාදා 01. 45) පමණ වෙඩි තැබීම සිදුවූයේ විරෝධතාකරුවන් පිරිසක් නගරයේ පාගමනක් යමින් සිටියදී.
මිනෙසෝටා හි දී පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයෙකු සහ ලුසියානා හි දී ඇල්ටන් ස්ටර්ලින් නම් කළු ජාතිකයෙකු පොලීස් වෙඩි පහරවල් වලින් මිය යාමෙන් පසුවයි විරෝධතා ආරම්භ වූයේ.
ඩලාස් පොලීසියේ ප්‍රධානී ඩේවිඩ් බ්‍රවුන් පැවසුවේ වාහන නවතා තබන තට්ටු ගොඩනැගිල්ලකට වී රයිෆලයකින් වෙඩි තබමින් සිටින තවත් තුවක්කු කරුවෙකු මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපි දැනට අදහස් හුවමාරු කරගනිමින් ඉන්න සැකකරුවා අපිට කිව්වෙ අවසානය ලඟයි අපේ තවත් අය මරා දමන්න තවත් අයට තුවාල සිදු කරන්නයි ඔහු උත්සාහ කරන්නේ කියල. නගරයේ සහ මෙම ස්ථානයේ හැමතැනම බෝම්බ සවි කරල තියන බවත් ඔහු කියනවා" යනුවෙනුයි ඔහු පැවසුවේ.
ප්‍රාදේශීය වාර්තා වලට අනුව විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බව කියවෙන නමුත් ඒ පිළිබඳව තවමත් සනාථ වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, AP
පොලිස් ප්‍රධානියා පැවසුවේ විරෝධතා රැලිය පැවැත්වෙන අතරතුර දී රයිෆල් තුවක්කු මගින් ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් කණ්ඩායමක් ලෙස කටයුතු කර ඇති බවයි.
මියගිය එක් පොලිස් නිලධාරියෙකු ප්‍රවාහන පොලීසියේ නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.
මෙය නගරය තුළ සිදුවූ හද කම්පාකරවන සිදුවීමක් බවයි ඩලාස් නගරාධිපතිවරයා පැවසුවේ

ඇමරිකාවේදී එලි දැක්වී තිබුණු නවතම වීඩියෝවකට අනුව පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයා මිනිඇපොලිස් නගරයේ දී මියගියේ පොලීස් වෙඩි පහරකින්.
පොලිස් නිලධාරියා ගිනි අවියක් මානා ගෙන සිටින අතර පිලන්දෝ ලේ වගුරුවමින් වැටී සිටින අයුරු මගී ආසනයේ සිටි ඔහුගේ පෙම්වතිය විසින් වීඩියෝ ගත කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AP
එය පැය 48 ක් ඇතුළත පොලිස් වෙඩි තැබීමකින් මියගිය දෙවන කළු ජාතිකයායි.
මෙම සිදුවීම පිළිබඳව ජාතික කතිකාවතක් ආරම්භ වී ඇති අතර වීදි විරෝධතා ආරම්භ වී තිබුණේ මෙම ඝාතනයන් සිදුවීමෙන් පසුවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP









