ජේකොබ් සුමාට දූෂණ චෝදනා අට සීයක්

Jacob Zuma - archive shot

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චෝදනා සියල්ල ඉවත දැමීමට එවකට සිටි නීතිපතිවරයා ගත් තීරණය 'අවිචාරී' බවයි මහ අධිකරණයේ විනිසුරු කියා සිටියේ

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සුමා ට එරෙහිව තිබුණු වංචා සහ දූෂණ චෝදනා විභාග නොකොට ඉවත දැමීමට ගත් තීරණය නැවත විමර්ශනයට ලක් කළ යුතු බවට එරට මහ අධිකරණය තීරණය කළේය.

ඒ අනුව වංචා දූෂණ චෝදනා අට සියයකට ආසන්න ප්‍රමාණයකට මුහුණ දීමට ජනාධිපති සුමා ට සිදු විය හැක.

මෙම චෝදනා විභාග නොකොට ඉවත දමා ඇත්තේ ජේකොබ් සුමා ට ජනාධිපති වීමට මග පෑදූ 2009 වසරේ පැවති මැතිතිවරණයට සති කිහිපයකට පෙරයි.

එම චෝදනා සියල්ල ඉවත දැමීමට එවකට සිටි නීතිපතිවරයා ගත් තීරණය 'අවිචාරී' බවයි මහ අධිකරණයේ විනිසුරු කියා සිටියේ.

One of the Saab Gripen fighter jets, bought by the South African Airforce, as part of the country's controversial arms deal - Cape Town, South Africa, 2006

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ගනුදෙනුවක්

ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ගනුදෙනුවක් පිළිබඳව එල්ල වී ඇති චෝදනාවලට ද ජනාධිපතිවරයා මුහුණ දිය යුතු බව දකුණු අප්‍රිකානු මහ අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ජනාදිපති ජේකොබ් සුමා විසින් මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

එහෙයින් ජනාධිපති සුමා ට එරෙහිව ඉහත කී නඩු විභාගය යළි ආරම්භ කරන්නේද යන්න එරට නීති බලධාරීන් තීරණය කළ යුතුව තිබේ.

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට තම පක්ෂයේ ම ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් මෑතක සිට සුමාට බලපෑම් එල්ල වී තිබේ.