ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජේකොබ් සුමාට දූෂණ චෝදනා අට සීයක්
දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සුමා ට එරෙහිව තිබුණු වංචා සහ දූෂණ චෝදනා විභාග නොකොට ඉවත දැමීමට ගත් තීරණය නැවත විමර්ශනයට ලක් කළ යුතු බවට එරට මහ අධිකරණය තීරණය කළේය.
ඒ අනුව වංචා දූෂණ චෝදනා අට සියයකට ආසන්න ප්‍රමාණයකට මුහුණ දීමට ජනාධිපති සුමා ට සිදු විය හැක.
මෙම චෝදනා විභාග නොකොට ඉවත දමා ඇත්තේ ජේකොබ් සුමා ට ජනාධිපති වීමට මග පෑදූ 2009 වසරේ පැවති මැතිතිවරණයට සති කිහිපයකට පෙරයි.
එම චෝදනා සියල්ල ඉවත දැමීමට එවකට සිටි නීතිපතිවරයා ගත් තීරණය 'අවිචාරී' බවයි මහ අධිකරණයේ විනිසුරු කියා සිටියේ.
ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ගනුදෙනුවක් පිළිබඳව එල්ල වී ඇති චෝදනාවලට ද ජනාධිපතිවරයා මුහුණ දිය යුතු බව දකුණු අප්‍රිකානු මහ අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ජනාදිපති ජේකොබ් සුමා විසින් මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
එහෙයින් ජනාධිපති සුමා ට එරෙහිව ඉහත කී නඩු විභාගය යළි ආරම්භ කරන්නේද යන්න එරට නීති බලධාරීන් තීරණය කළ යුතුව තිබේ.
ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට තම පක්ෂයේ ම ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් මෑතක සිට සුමාට බලපෑම් එල්ල වී තිබේ.